2. 3. 14. 6.
43. මහණෙනි, මේ පූජාවෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසපූජාව හා ධර්‍මපූජාව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි පූජාවෝ දෙදෙනාය. මහණෙනි, මේ පූජාවන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මපූජාවෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
2. 3. 14. 7.
44. මහණෙනි, මේ ආගන්තුකදානයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිසයෙන් කරණ ආගන්තුකදානය හා ධර්‍මමයෙන් කරණ ආගන්තුකදානය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ආගන්තුකදාන දෙකය. මහණෙනි, මේ ආගන්තුකදානයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මයෙන් කරණ ආගන්තුකදානයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
2. 3. 14. 8.
45. මහණෙනි, මේ ඍද්ධීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂ ඍද්ධිය හා ධර්‍ම ඍද්ධිය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ඍද්ධීහු දෙදෙනාය. මහණෙනි, මේ ඍද්ධීන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍ම ඍද්ධියෙක් වේ නම් මෙය අග්‍රවේ යයි.
2. 3. 14. 9.
46. මහණෙනි, මේ වෘද්ධීහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂවෘද්ධිය හා ධර්‍මවෘද්ධිය හා යන දෙදෙනා ය. මහණෙනි, මේ වෘද්ධීන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මවෘද්ධියෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
2. 3. 14. 10.
47. මහණෙනි, මේ රතනයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂරතනය හා ධර්‍මරතනය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි රතනයෝ දෙදෙනාය. මහණෙනි, මේ රත්නයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මරතනයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
2. 3. 14. 11.
48. මහණෙනි, මේ සන්නිචයයෝ (රැස්කිරීම්) දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂසන්නිචය හා ධම්මසන්නිචය හා යන දෙදෙනාය. මහණෙනි, මේ සන්නිචයයන් දෙදෙනා අතුරෙන් යම් ධම්මසන්නිචයයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
2. 3. 14. 12.
49. මහණෙනි, මේ වෛපුල්‍යයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂවෛපුල්‍යය හා ධර්‍මමවෛපුල්‍යය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි වෛපුල්‍යයෝ දෙදෙනාය. මහණෙනි, මේ වෛපුල්‍යයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මවෛපුල්‍යයෙක් වේ ද මෙය අග්‍රවේ යයි.
තුදුස්වන වග යි.
[15. සමාපත්ති වර්‍ගය]
[සැවැත්නිදාන යි]
2. 3. 15. 1.
50. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: සමාපත්තියෙහි දක්‍ෂ බව හා සමාපත්තියෙන් නැගී සිටීමෙහි දක්‍ෂ බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 2.
51. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඍජුත්‍වය හා මෘදුත්‍වය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 3.
52. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ක්‍ෂාන්තිය (ඉවසීම) හා සුරතබව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 4.
53. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: සඛිල (මොළොක් තෙපුල් ඇති) බව හා පටිසන්‍ථාරය (පිළිසඳර) හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 5.
54. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: (කරුණා පූර්‍වභාගය වූ) අවිහිංසාව හා (ශීලවශයෙන් පිරිසිදු බව) සුචිභාවය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 6.
55. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඉඳුරන්හි නො පියූදොර ඇති බව හා භෝජනයෙහි පමණ නොදන්නා බව හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 7.
56. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ඉඳුරන්හි පියූ දොර ඇති බව හා භෝජනයෙහි පමණ දන්නා බව ද යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 8.
57. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: ප්‍රත්‍යවේක්‍ෂාබල ය හා භාවනාබලය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.
2. 3. 15. 9.
58. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ස්මෘතිබලය හා සමාධිබලය හා යන දෙදෙනාය. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙනා යි.