2. 2. 8. 10.
36. මහණෙනි, ලාමක අකුශලධර්‍මයෝ (හේතුප්‍රත්‍යයෙන් උපන්) සංස්කෘතය අරමුණු කොට උපදනාහ. (හේතුප්‍රත්‍යයෙන් නූපන්) අසංස්කෘතය අරමුණු කොට නූපදනාහ. ඒ සඞ්ඛතයාගේ ම ප්‍රහාණයෙන් මෙසේ ඒ ලාමක අකුශලධර්‍මයෝ නො වන්නාහ යි.
අටවන වග යි.
[9. ධර්‍ම වර්‍ගය]
2. 2. 9. 1.
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඵලසමාධි සඞ්ඛ්‍යාත) චේතෝවිමුක්තිය හා (ඵලප්‍රඥා සඞ්ඛ්‍යාත) ප්‍රඥාවිමුක්තිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
2. 2. 9. 2.
38. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (වීර්‍ය්‍යසඞ්ඛ්‍යාත) ප්‍රග්‍රාහය හා (චිතෛතකාග්‍රතා සඞ්ඛ්‍යාත) අවික්‍ෂේපය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
2. 2. 9. 3.
39. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අරූපස්කන්‍ධ සඞ්ඛ්‍යාත) නාමය හා රූප (ස්කන්‍ධ) ය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක යි.
2. 2. 9. 4.
40. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඵලඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව හා (ඵලඥාන සම්ප්‍රයුක්ත සෙසු ධර්‍ම සඞ්ඛ්‍යාත) විමුක්තිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
2. 2. 9. 5.
41. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ශාශ්වත සඞ්ඛ්‍යාත) භවදෘෂ්ටිය හා (උච්ඡේද සඞ්ඛ්‍යාත) විභවදෘෂටිය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
2. 2. 9. 6.
42. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා නැති බව වූ) අහ්‍රිකය හා (පවට නො බානා බව වූ) අනපත්‍රපාව හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
2. 2. 9. 7.
43. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (පවට ලජ්ජා ඇති බව වූ) හ්‍රීය හා (පවට බානා බව වූ) අපත්‍රපාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
2. 2. 9. 8.
44. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා නොපිළිගන්නා බව වූ) දෝවචස්සතාව හා (පවිටු මිතුරන් සෙවුනා බව වූ) පාපමිත්තතාව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙක ය.
2. 2. 9. 9.
45. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (ඔවා පිළිගන්නා බව වූ) සොවචස්සතාව හා (කලණමිතුරන් සෙවුනා බව වූ) කල්‍යාණමිත්තතාව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
2. 2. 9. 10.
46. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: (අෂටාදශ) ධාතුන් දැනීමෙහි දක්‍ෂ බව හා (ඒ) ධාතුන් අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කිරීමෙහි දක්‍ෂ බව හා යන දෙකය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
2. 2. 9. 11.
47. මහණෙනි, මේ ධර්‍ම දෙකෙකි. කවර දෙකෙක යත්: සප්තාපත්තිස්කන්‍ධයන් දැනීමෙහි දක්‍ෂ බව හා ඇවැතින් නැගීසිටීමෙහි දක්‍ෂ බව හා යන දෙක ය. මහණෙනි, මේ වනාහි ධර්‍ම දෙකය.
නවවන වග යි.
[10. බාල වර්‍ගය]
[සැවැත්නිදාන යි]
2. 2. 10. 1.
48. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙක් නො පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් පැමිණි බර නො උසුලනුයේ නම් හේය යන මේ දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි බාලයෝ දෙදෙන ය.
2. 2. 10. 2.
49. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පැමිණි බර උසුලනුයේ ද, යමෙකුත් නො පැමිණි බර නො උසුලනුයේ ද යන දෙදෙන ය. මහණෙනි, මොහු වනාහි පණ්ඩිතයෝ දෙදෙන ය.