2. 2. 6. 9.
9. මහණෙනි, මේ කරුණු දෙකක් දක්නා කිංපුරුෂයෝ මිනිස්බස් නො බෙණෙත්. කවර දෙකෙක යත්: නහමක් මුසවා බණමෝව යි, මෙරමා අභූතයෙන් නහමක් අභ්යාඛ්යාන කරමෝ ව යි යන දෙකයි. මහණෙනි, මේ කරුණු දෙක දක්නා කිංපුරුෂයෝ මිනිස්බස් නොබණන්නාහ.
2. 2. 6. 10.
10. මහණෙනි, මේ ධර්ම දෙකක් පිළිබඳව මාගම අතෘප්ත ව නොපසුබට ව සිට කලුරිය කරයි. කවර දෙකක් පිළිබඳවය යත්: මෙවුන්දම්සෙවීම හා ප්රසූතිය හා යන දෙක පිළිබඳව යි. මහණෙනි, මේ ධර්ම දෙක පිළිබඳ මාගම අතෘප්ත ව නොපසුබට ව සිට කලුරිය කෙරේ ය යි.
2. 2. 6. 11.
11. මහණෙනි, තොපට අසත්පුරුෂ සන්නිවාසය හා සත්පුරුෂසන්නිවාසය දෙසමි. එය අසව ...
මහණෙනි, කෙසේ නම් අසත්පුරුෂ සන්නිවාසය වේය යත්: කෙසේ නම් අසත්පුරුෂයෝ එක්ව වෙසෙත්ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ස්ථවිර භික්ෂූහට මෙබඳු සිතෙක් වෙයි: වැඩිහිටි තෙරද මට නහමක් කියාවා, මධ්යම තෙර ද මට නහමක් කියාවා, නවක තෙමේ ද මට නහමක් කියාවා, මම ද මහලු තෙරුන්ට නහමක් කියම්වා, මම මැදුම් තෙරුන් ට ද නහමක් කියම්වා, නවක භික්ෂුහට ද නහමක් කියම්වා, මහලු තෙර ද මට කියන්නේ නම්, හිතානුකම්පා නැත්තේ ම මට කියයි. හිතානුකම්පා ඇති ව නො කියයි ඔහුට නැතැයි ද කියනෙමි. ඔහුට වෙහෙස ද කරමි, එය දක්නෙම් නමුදු පිළියම් නො කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියා නම් ... ඉදින් නවක භික්ෂූ ද මට කියා නම්, අහිතානුකම්පා ඇති ව මට කියනේය. හිතානුකම්පා ඇති ව නො වේ. ඔහුට මම නැතැ’යි කියමි. ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. මැදුම් මහණහට ද මෙබඳු සිතෙක් වෙයි ... නවක භික්ෂුහට ද මෙබඳු සිතෙක් වෙයි: මහලු තෙර ද මට නහමක් කියාවා, මැදුම් තෙර ද මට නහමක් කියාවා, නවක භික්ෂු තෙමේ ද මට නහමක් කියාවා, මම ද මහලු තෙරුන්ට නහමක් කියමි. මැදුම් තෙරුන්ට ද මම නහමක් කියමි. නවක භික්ෂූහට ද මම නහමක් කියමි. ඉදින් මහලු තෙර ද මට කියා නම්, (මට) අහිතානුකම්පී ව කියන්නේය. හිතානුකම්පී ව නො වේ. නැතැයි ඔහුට කියමි, ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියා නම් ... ඉදින් නවක භික්ෂූ තෙමේ ද මට කියා නම්, අහිතානුකම්පී ව මට කියන්නේය, හිතානුකම්පී ව නො වේ. නැතැයි ඔහුට කියමි, ඔහුට වෙහෙස ද කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් නො කරමි. මහණෙනි, මෙසේ වනාහි අසත්පුරුෂ සන්නිවාසය වේ. මෙසේ ද අසත්පුරුෂයෝ එක්ව වෙසෙත්.
මහණෙනි, සත්පුරුෂසන්නිවාසය කෙසේය යත්: සත්පුරුෂයෝ කෙසේ නම් එක්ව වෙසෙති යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහලු තෙරුන්ට මෙබඳු සිතෙක් වෙයි: මහලු තෙර ද මට කියාවා, මැදුම් තෙරද මට කියාවා, නවක භික්ෂු තෙමේ ද මට කියාවා, මම ද මහලු තෙරුන්ට ද කියමි. මැදුම් තෙරුන්ට ද මම කියමි. නවක භික්ෂූහට ද මම කියමි. ඉදින් මහලු තෙර ද මට කියා නම්, හිතානුකම්පී ව මට කියයි. අහිතානුකම්පී ව නො වේ, මැනවැයි ඔහුට කියමි. මම ඒ තෙරුන් නො වෙහෙසන්නෙමි. මම දක්නෙම් එයට පිළියම් කරමි. ඉදින් මධ්යම තෙර ද මට කියා ... නවක භික්ෂු තෙමේ ද මට කියා නම්, හිතානුකම්පී ව මට කියනේය. අහිතානුකම්පී ව නො කියන්නේය. (මම) මැනවැ යි ඒ තෙරුන්ට කියමි, ඒ තෙරුන් නො වෙහෙසමි, දක්නෙම් එයට පිළියම් කරමි. මධ්යම භික්ෂුහට ද මෙබඳු සිතෙක් වෙයි ... නවක භික්ෂුහට ද මෙබඳු සිතෙක් වෙයි: මහලු තෙර ද මට කියාවා, මැදුම් මහණ තෙමේ ද මට කියාවා, නවක මහණ තෙමේ ද මට කියාවා, මම ද මහලු තෙරුන්ට කියනෙමි ... මම ද මැදුම් තෙරුන්ට කියන්නෙමි. ... මම ද නවක මහණහට කියන්නෙමි. ඉදින් මහලු තෙර ද මට කියා නම්, මට හිතානුකම්පී ව කියන්නේය. අහිතානුකම්පී ව නො කියන්නේය. ඔහුට “මැනවැ”යි කියමි. ඔහුට වෙහෙස ද නො කරමි. දක්නෙම් නමුදු එයට පිළියම් කරමි. ඉදින් මැදුම් තෙර ද මට කියන්නේ නම් ... ඉදින් නවක මහණ තෙමේ ද මට කියන්නේ නම්, හිතානුකම්පී ව මට කියන්නේය, අහිතානුකම්පී ව නො කියන්නේය. ඔහුට “මැනවැ”යි කියමි. ඔහුට වෙහෙස ද නො කරමි. දක්නෙම් පිළියම් ද කරමි. මහණෙනි, මෙසේ වනාහි සත්පුරුෂ සන්නිවාසය වෙයි. මෙසේ ම සත්පුරුෂයෝ එක්ව වෙසෙත් යයි.
2. 2. 6. 12.
12. මහණෙනි, යම් අධිකරණයෙක (උනුන් ආක්රෝශවශයෙන් සමවලා ගැණීම වූ) වාක්සංසරණය ද, (දෘෂ්ටිය නිසා උපදනා යුගග්රාහ සඞ්ඛ්යාත) පළාසය ද, චිත්තයෙහි වූ කෝපය ද, නොසතුට ද, නො ඇල්ම ද, අධ්යාත්මයෙහි මැනැවින් නොසන්හිඳුනේ වේ ද, මහණෙනි, ඒ අධිකරණයෙහි මෙය බොහෝ කල් පැවැත්මට රළුබවට සැඩබවට වැටෙන්නේය. භික්ෂූහු ද සුවසේ නො වෙසෙන්නාහ’ යි කැමැති විය යුත්තේ යි.
2. 2. 6. 13.
13. මහණෙනි, යම් අධිකරණයෙක දෙපස වාක් සංසරණය, දිට්ඨිපළාසය, චිත්තයාගේ ආඝාතය අසන්තුෂ්ටිය, අනභිරද්ධිය, අධ්යාත්මයෙහි මැනැවින් සන්හිඳුනේ වේ ද, මහණෙනි, මෙය ඒ අධිකරණයෙහි බොහෝ කල් පැවැත්මට රළුබවට සැඩබවට නො වැටෙන්නේය. භික්ෂූහු ද සුවසේ වෙසෙන්නාහ යි කැමැති විය යුත්තේ යි.
සවන පුඟුල්වගයි.