2. 2. 10. 15.
62. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අනාපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ආපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
2. 2. 10. 16.
63. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් ආපත්තියෙහි ආපත්තිසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් අනාපත්තියෙහි අනාපත්තිසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
2. 2. 10. 17.
64. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙත්. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
2. 2. 10. 18.
65. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අධර්‍මයෙහි අධර්‍මසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් ධර්‍මයෙහි ධර්‍මසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
2. 2. 10. 19.
66. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අවිනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි අවිනයසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ වැඩෙන්නාහ යි.
2. 2. 10. 20.
67. මහණෙනි, දෙදෙනකුන්ගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ. කවර දෙදෙනකුන්ගේය යත්: යමෙකුත් අවිනයෙහි අවිනයසංඥා ඇත්තේ වේ ද, යමෙකුත් විනයෙහි විනයසංඥා ඇත්තේ වේ ද, යන දෙදෙනාගේ ය. මහණෙනි, මේ දෙදෙනාගේ ආශ්‍රවයෝ නො වැඩෙන්නාහ යි.
දසවන වගයි.
දෙවන පණ්ණාසකය සමාප්තයි.
තෙවන පණ්ණාසකය
[11. ආසා වර්‍ගය]
[සැවැත්නිදාන යි]
2. 3. 11. 1.
1. මහණෙනි, මේ ආශාවෝ දෙදෙනෙක් හැරැලීමට දුෂ්කර වෙත්. කවර දෙදෙනෙක යත්: ලාභාශාව හා ජීවිතාශාව යන දෙකය. මහණෙනි, මේ ආශාවෝ දෙදෙන හැරැලීමට දුෂ්කර වෙත් ය යි.
2. 3. 11. 2.
2. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් දුලබ වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් පළමු ම උපකාර කරන්නේ වේ ද, යමෙකුත් කෘතඥ වූයේ කෘතවේදී වේ ද, යන දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන වනාහි ලොව්හි දුලබ වෙත් ය යි.
2. 3. 11. 3.
3. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් දුලබ වෙති. කවර දෙදෙනෙක යත්: තෘප්ත වූයේ ද, තෘප්තියට පමුණුවන්නේ ද යන දෙදෙන වෙති. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන ලොව්හි දුලබ වෙත් ය යි.
2. 3. 11. 4.
4. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් (දායකයා විසින්) තෘප්තිමත් කළ නො හැක්කාහු වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් ලද ලද දෑ තැන්පත් කෙරේ නම්, යමෙකුත් ලද ලද දෑ වියදම් කෙරේ නම්, යන මොහු දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන ලොව්හි තෘප්තිමත් කළ නො හැක්කාහු වෙත් ය යි.
2. 3. 11. 5.
5. මහණෙනි, ලොව්හි මේ පුඟුලෝ දෙදෙනෙක් (දායකයා විසින්) පහසුවෙන් තර්‍පණය කළ හැක්කාහු වෙති. කවර දෙදෙනෙක යත්: යමෙකුත් ලද ලද දෑ තැන්පත් නො කෙරේ ද, යමෙකුත් ලද ලද දෑ වියදම් නො කෙරේ ද යන දෙදෙන ය. මහණෙනි, මේ පුඟුලෝ දෙදෙන වනාහි ලොව්හි තර්‍පණය කළ හැක්කාහු වෙත් ය යි.