2. 1. 5. 10.
51. මහණෙනි, මේ පිරිස් දෙකෙකි. කවර දෙකෙක යත්: අධර්‍මවාදී පිරිස හා ධර්‍මවාදී පිරිස හා දෙකය.
මහණෙනි, අධර්‍මවාදී පිරිස කවර: මහණෙනි, මේ සස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු දැහැමි වූ හෝ නො දැහැමි වූ අධිකරණයක් ගණිත් ද, ඔහු ඒ අධිකරණය ගෙණ උනුන් නො ද හඟවත්. හැඟවීමට නො ද එළඹෙත්. නො ද දක්වත්. දැක්වීමට නො ද එළඹෙත්. නො ඇඟවීම බලය කොට ඇති, නො දැක්වීම බලය කොට ඇති ඔහු (අයුක්ති) දුරලීමට මන්ත්‍රණ නොකරන්නාහු එම අධිකරණ (දෘෂ්ටි) ශක්තියෙන් පරාමර්‍ශ කොට එයට වැදගෙන ‘මෙය ම සත්‍යය, සෙස්ස තුච්ඡ’ යි ව්‍යවහාර කෙරෙත් ද, මහණෙනි, මේ අධර්‍මවාදී පිරිස යි කියනු ලැබේ.
මහණෙනි, ධර්‍මවාදී පිරිස කවර: මහණෙනි, මෙසස්නෙහි යම් පිරිසෙක භික්‍ෂූහු දැහැමි හෝ නො දැහැමි අධිකරණයක් ගණිත් ද, ඔහු ඒ අධිකරණය ගෙණ උනුන් ද හඟවත්. හැඟවීමට ද එළඹෙත්. උනුන් දක්වත්. දැක්වීමට ද එළඹෙත්. හැඟවීම බලය කොට ඇති, දැක්වීම බලය කොට ඇති (අධර්‍මය) දුරලීමට ම මන්ත්‍රණය කරණ සුලු ඔහු එම අධිකරණය ‘මෙය ම සත්‍යය, සෙස්ස තුච්ඡ’ යි (දෘෂ්ටි) ශක්තියෙන් පරාමර්‍ශ කොට එයට පිවිස ව්‍යවහාර නො කෙරෙත් ද, මහණෙනි, මේ වනාහි ධර්‍මවාදී පිරිසැ යි කියනු ලැබේ. මහණෙනි, මේ පිරිස් දෙකය. මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් ධර්‍මවාදී පිරිසෙක් වේ නම් තෙල අග්‍ර වේ.
පස්වන පිරිස් වග යි.
එහි උද්දානය:
උත්තාන, වග්ග, අග්ගවතී, අරියසූත්‍රය හා පස්වැනි කසට සූත්‍රය ද, උක්කාචිත, ආමිස, විසම, අධම්ම, ධම්මිය සූත්‍රය ද යන මොහු (දශසූත්‍රයෝ) යි.
ප්‍රථම පණ්ණාසකය සමාප්ත යි.
දෙවන පණ්ණාසකය
[6. පුග්ගල වර්‍ගය]
2. 2. 6. 1.
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් උපදනට සමත්වූවාහු ලෝකයෙහි බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සුව පිණිස ද බොහෝ දෙනාට වැඩ පිණිස ද දෙවිමිනිසුනට හිත පිණිස ද සුව පිණිස ද උපනාහ.
කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජහු හා දෙදෙන ය. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙන ලෝකයෙහි උපදනට සමත්වූවාහු බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සුව පිණිස ද බොහෝ දෙනාට වැඩ පිණිස ද දෙවි මිනිසුනට හිත පිණිස ද සුව පිණිස ද උපදනාහ යි.
2. 2. 6. 2.
2. මහණෙනි, මේ පුද්ගලයෝ දෙදෙනෙක් ලෝකයෙහි උපදනට සමත් වූවාහු ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපදිත්. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජ හා දෙදෙනයි. මහණෙනි, ලෝකයෙහි උපදනට සමත් මේ පුද්ගලයෝ දෙදෙන ආශ්චර්‍ය්‍ය මනුෂ්‍ය ව උපදනාහ.
2. 2. 6. 3.
3. මහණෙනි, පුද්ගලයන් දෙදෙනක්හුගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාපකර වෙයි. කවර දෙදෙනක්හුගේ ය යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ය, චක්‍රවර්‍තති රජහුගේ ය. මහණෙනි, මේ පුද්ගලයන් දෙදෙනාගේ කාලක්‍රියාව බොහෝ දෙනාට අනුතාප කර වේ.
2. 2. 6. 4.
4. මහණෙනි, මේ ස්තුපාර්‍හයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා චක්‍රවර්‍තති රජ හා දෙදෙනයි. මහණෙනි, මොහු වනාහි ස්තුපාර්‍හයෝ දෙදෙන වෙත්.
2. 2. 6. 5.
5. මහණෙනි, මේ බුදුවරු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ හා ප්‍රත්‍යෙක බුදුන්වහන්සේ හා දෙදෙනයි. මහණෙනි, මොහු බුදුවරු දෙදෙන වෙත්.
2. 2. 6. 6.
6. මහණෙනි, මොහු දෙදෙනෙක් සේන ගිගිරි කරණ කල්හි නොබත්. කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව තෙමේ ද ආජානේය හස්ති තෙමේ ද යන දෙදෙන යි. මහණෙනි, මේ දෙදෙන සේන ගුගුරත් නො බති.
2. 2. 6. 7.
7. මහණෙනි, මොහු දෙදෙන සේන ගිගිරි කරත් ම නො බානහ. කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව තෙමේ ද ආජානේය අශ්වයා ද යන දෙදෙන යි. මහණෙනි, මේ දෙදෙන සේන ගුගුරන කල්හි තැති නො ගණිත්.
2. 2. 6. 8.
8. මහණෙනි, මොහු දෙදෙන සේන ගොහන කල්හි තැති නො ගණිත්: කවර දෙදෙනෙක යත්: ක්‍ෂීණාස්‍රව මහණ ද මෘගරාජන් වූ සිංහයා හා දෙදෙනයි. මහණෙනි, මොහු දෙදෙන සේන ගොහන කල්හි තැති නො ගණිත්.