3. බාල වර්ගය
2. 1. 3. 1.
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, මේ බාලයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: යමෙක් වරද වරද විසින් නො දක්නේ ද, යමෙකුත් (පිළිගෙණ) වරද දෙසන්නහුගේ යථාධර්මය නො පිළිගන්නේ ද, මහණෙනි, මොහු බාලයෝ දෙදෙන වෙති.
මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙක් වෙති. කවර දෙදෙනෙක යත්: යමෙක් වරද වරද විසින් දක්නේ ද, යමෙකුත් පිළිගෙණ වරද දෙසන්නහුගේ යථාධර්මය පිළිගන්නේ ද, මහණෙනි, මොහු දෙදෙන පණ්ඩිත වෙති.
2. 1. 3. 2.
22. මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන කෙරෙත් (අභූතයෙන් දොස් තබත්). කවර දෙදෙනෙක යත්: දුෂ්ට වූයේ ඇතුළත සිටුනා ද්වේෂය ඇත්තේ හෝ වේ ද, වැරදි ලෙස ගැණීමෙන් වූ සැදැහැ ඇත්තේ හෝ වේ ද (යන දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන කෙරෙත්.
2. 1. 3. 3.
23. මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන කෙරෙත්. කවර දෙදෙන යත්: යමෙක් තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලද්ද නො තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසනලදැ යි තෙපලන ලදැයි දක්වා ද, යමෙකුත් තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලදැයි නො තෙපලන ලදැයි දක්වා ද (යන දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන කෙරෙත්.
මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන නො කෙරෙත්. කවර දෙදෙන යත්: යමෙක් තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලද්ද නො තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් නො දෙසන ලදැයි නො තෙපලන ලදැයි දක්වා ද, යමෙකුත් තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද්ද තෙපලන ලද්ද තථාගතයන් වහන්සේ විසින් දෙසන ලදැයි තෙපලන ලදැයි දක්වා ද, (යන දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන නො කෙරෙත්.
2. 1. 3. 4.
24. මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන කෙරෙත්. කවර දෙදෙන යත්: යමෙක් එළවා කිය යුතු අර්ත්ථය ඇති සූත්රාන්තය හෙළි කළ අරුත් ඇති සූත්රාන්තය යි දක්වා ද, යමෙකුත් හෙළි කළ අරුත් ඇති සූත්රාන්තය එළවා කිය යුතු අරුත් ඇති සූත්රාන්තය යි දක්වා ද (යන මේ දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන කෙරෙත්.
2. 1. 3. 5.
25. මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන නො කෙරෙත්. කවර දෙදෙන යත්: යමෙක් එළවා කිය යුතු අරුත් ඇති සූත්රාන්තය එළවා කිය යුතු අරුත් ඇති සූත්රාන්තය යි දක්වා ද, යමෙකුත් හෙළි කළ අරුත් ඇති සූත්රාන්තය හෙළි කළ අරුත් ඇති සූත්රාන්තය යි දක්වා ද, (යන මේ දෙදෙන වෙති.) මහණෙනි, මොහු දෙදෙන තථාගතයන්ට අභ්යාඛ්යාන නො කෙරෙත්.
2. 1. 3. 6.
26. මහණෙනි, පිළිසන්කමත්හට (පව්කම් ඇත්තහුට) නිරය හෝ තිරිසන් යෝනිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.
2. 1. 3. 7.
27. මහණෙනි, නො පිළිසන් කමත්හට දේවගතිය හෝ මනුෂ්යගතිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.
2. 1. 3. 8.
28. මහණෙනි, මිථ්යාදෘෂ්ටිකයාට නිරය හෝ තිරිසන් යෝනිය හෝ යයි දෙගතීන් අතුරෙන් එක්තරා ගතියෙක් කැමති විය යුතුයි.