2. 1. 2. 6.
16. එකල්හි නොපාළ බමුණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ හා සමග තුස්නකථාවට නිසි සිහිකරනුවට නිසි කථාව නිමවා එකත් පසෙක හින. එකත්පසෙක හුන් ඒ බමුණු භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: ‘භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් මෙ ලොව්හි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහවූ නපුරු ගති වූ විවස පතනයට තැන්වූ නිරයට (උපපාත වශයෙන්) පැමිණෙත් නම්, එයට හේතු කවරේය? එයට ප්රත්යය කවරේය?
[භගවත්හු:]
බමුණු, අධර්මචර්ය්යා සඞ්ඛ්යාත විෂම චර්ය්යාව හේතු කොට ගෙණ මෙසේ මෙ ලොව්හි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්.
[බමුණු:]
භවත් ගෞතමයෙනි, මෙලොව්හි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයට එළඹෙත් නම්, එයට හේතු කවරේය? ප්රත්යය කවරේ ය?
[භගවත්හු:]
බමුණ, ධර්මචර්ය්යා සඞ්ඛ්යාත සමචර්ය්යාව හේතු කොට ගෙණ මෙසේ මෙ ලොව්හි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්ගලෝකයට එළඹෙත්.
[බමුණු:]
භවත් ගෞතමයන්වහන්ස, ඉතා මැනැවි. භවත් ගෞතමයන් වහන්ස ඉතා මැනැවි. භවත් ගෞතමයන් වහන්ස! යම්සේ යටිහුරු කොට තබන ලද්දක් හෝ උඩුහුරු කොට තබන්නේ, පිළිසන් වූවක් හෝ වැසුම් හරනේ මංමුළා වූවකුට හෝ මග කියන්නේ ‘ඇස් ඇත්තෝ රූ දක්නාහුය’ යි බොල් අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නන්නියරින් ධර්මය ප්රකාශ කරණ ලද්දේ ය. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද භික්ෂුසඞ්ඝයා ද සරණ යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු සේ රුස්නා සේක්වා’ යි.
2. 1. 2. 7.
17. එකල්හි ජාණුස්සෝණි බ්රාහ්මණ තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේ හා සමග සතුටු විය ... එකත්පසෙක හුන් ජාණුස්සෝණි බ්රාහ්මණ තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැළකෙළේය: භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් මේ ලෝකයෙහි ඇතැම් සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට යෙත් නම්, (එයට) හේතු කවරේය? ප්රත්යය කවරේය?
[භගවත්හු:]
බමුණ, කළ බැවිනුදු නොකළ බැවිනිදු මෙසේ මෙ ලොව කිසි සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුවයෙන් පහ වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්.
[බමුණු:]
භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයෙකින් මෙ ලොව කිසි සත්ත්ව කෙනෙක් සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයට එළඹෙත් නම්, (එයට) හේතු කවරේය? ප්රත්යය කවරේය?
[භගවත්හු:]
බමුණ, කළ බැවිනුදු නොකළ බැවිනිදු මෙසේ මෙ ලොව කිසි සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගයට එළඹෙත්.
[බමුණු:]
භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ භාෂිතයාගේ අර්ත්ථය මම විතර විසින් නො දනිමි. යම්සේ මම භවත් ගෞතමයන් වහන්සේ විසින් සැකෙවින් දෙසූ විතර විසින් අරුත් නො බෙදූ මේ භාෂිතයාගේ අර්ත්ථය විතර විසින් දැනගන්නෙම් ද එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ දහම් දෙසන සේක් නම් මැනැවි.
බමුණ, එසේ වී නම් අසව, මනා කොට මෙනෙහි කරව, දෙසමි යි. එසේය වහන්සැ’ යි ජාණුස්සෝණි බ්රාහ්මණ තෙමේ භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
බ්රාහ්මණය, මේ ලෝකයෙහි කිසිවකු විසින් කායදුශ්චරිතය කරණ ලද්දේ වෙයි, කායසුචරිතය නොකරණ ලද්දේ වෙයි. වාග්දුශ්චරිතය කරණ ලද්දේ වෙයි, වාක්සුචරිතය නො කරණ ලද්දේ වෙයි. මනෝදුශ්චරිතය කරණ ලද්දේ වයි, මනස්සුචරිතය නො කරණ ලද්දේ වෙයි. බ්රාහ්මණය, මෙසේ වනාහි කළ බැවිනුදු නො කළ බැවිනිදු මෙ ලොව්හි කිසි සත්ත්ව කෙනෙක් කාබුන් මරණින් මතු මෙසේ සුවයෙන් පහ වූ දුගති වූ විනිපාත වූ නිරයට එළඹෙත්.
බ්රාහ්මණය, මෙලොව කිසිවකු විසින් කායසුචරිතය කරණ ලද්දේ වෙයි, කායදුශ්චරිතය නොකරණ ලද්දේ වෙයි. වාක්සුචරිතය කරණ ලද්දේ වෙයි, වාග්දුශ්චරිතය නොකරණ ලද්දේ වෙයි. මනස්සුචරිතය කරණ ලද්දේ වෙයි, මනෝදුශ්චරිතය නොකරණ ලද්දේ වෙයි. බ්රාහ්මණය, මෙසේ වනාහි කළ බැවිනුදු නො කළ බැවිනිදු මෙලොව්හි කිසි සත්ත්ව කෙනෙක් මෙ පරිද්දෙන් කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්යාත ස්වර්ගලෝකයට එළඹෙත්.
[බමුණු:]
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගිය උවසුවකු සේ මා රුස්නා සේක්වායී.
2. 1. 2. 8.
18. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්දතෙරණුවනට භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ආනන්දය, මම කායදුශ්චරිතය වාග්දුශ්චරිතය මනෝදුශ්චරිතය ඒකාන්තයෙන් නො කළ යුතුයි කියමි.