2. 1. 1. 8.
සුක්ක සූත්‍රය
8. මහණෙනි, මේ ශුක්ල (කුශල) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: (පවට විළිඇති බව වූ) හිරිය ද (පවට බිරිඇති බව වූ) ඔත්තප්පය ද යන දෙක යි. මහණෙනි, මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ය.
2. 1. 1. 9.
චරියා සූත්‍රය
9. මහණෙනි, මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක යත්: හිරිය හා ඔත්තප්පය වේ. මහණෙනි, මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ලොව නොපල්නාහු නම්, මෙලෙව්හි වැදූ මවැ යි හෝ සුළු මවැ යි හෝ නැඳියැ යි හෝ ඇදුරුබිරියැ යි හෝ ගුරුන්ගේ අත්බරහ යි හෝ (වෙනස) නො පැණෙයි. ලෝකයෝ එළු තිරෙළුවන් මෙන් ද කුකුළු හූරන් මෙන් ද බලු සිවලුන් මෙන් ද පණත් බිඳුමට යන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් මේ ශුක්ලධර්‍මයෝ දෙදෙන ලොව රකිත් ද, එහෙයින් වැදූ මවැ යි හෝ සුළු මවැ යි හෝ නැඳියැ යි හෝ ඇදුරුබිරියැ යි හෝ ගුරුන්ගේ අත්බරහ යි හෝ (වෙනස) පැණෙයි.
2. 1. 1. 10.
වස්සූපනායිකා සූත්‍රය
10. මහණෙනි, මේ වස් එළැඹීම් දෙකෙකි. කවර දෙකෙක යත්: පෙරවස් එළැඹීම ය, පසුවස් එළැඹීම ය (යන දෙකයි) මහණෙනි, මේ වනාහි වස් එළැඹීම් දෙක යි.
පළමු වස්සූපනායිකා වගයි.
එහි උද්දානය:
වජ්ජ සූත්‍රය, පධාන සූත්‍රය, තපනීය සූත්‍ර දෙකය, පස්වන උපඤ්ඤාත සූත්‍රය, සංයෝජන සූත්‍රය, කණ්හ සූත්‍රය, සුක්ක සූත්‍රය, චරියා සූත්‍රය, වස්සූපනායිකා සූත්‍රය දැයි මෙයින් වර්‍ගය වේ.
2. අධිකරණ වර්‍ගය
2. 1. 2. 1.
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, මේ බල දෙකෙකි. කවර දෙකෙක යත්: පටිසඞ්ඛානබලය හා භාවනාබලය (යන දෙක) යි. මහණෙනි, පටිසඞ්ඛානබලය කවරේ ය යත්: මහණෙනි, මෙලොව්හි කිසිවෙක් මෙසේ නුවණින් පස්විකා බලයි: “කායදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. වාග්දුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. මනෝදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වේය” යි. හෙතෙම මෙසේ නුවණින් බලා කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. පිරිසිදු අත්බව පරිහරණය කෙරෙයි. මහණෙනි, මෙය පටිසඞ්ඛානබලැ යි කියනු ලැබේ. මහණෙනි, භාවනාබලය කවරේය යත්: මහණෙනි, එහි ලා යම් භාවනාබලයෙක් වේ නම්, මෙය ශෛක්‍ෂබලය වේ. මහණෙනි, හේ ශෛක්‍ෂබලයට පැමිණ රාගය හැර ලා, ද්වේෂය හැරලයි. මෝහය හැරලයි. රාගය හැර ලා, ද්වේෂය හැර ලා, මෝහය හැර ලා යමෙක් අකුශල වේ නම් එය නො කෙරෙයි. යමෙක් පව් වේ නම් එය නො සෙව්නේය. මහණෙනි, මෙය භාවනාබලැ යි කියනු ලැබේ. මහණෙනි, මේ වනාහි බල දෙකයි.
2. 1. 2. 2.
12. මහණෙනි, මේ බල දෙකෙකි. කවර දෙකෙක යත්: පටිසඞ්ඛානබලය හා භාවනාබලය (යන දෙක) යි. මහණෙනි, පටිසඞ්ඛානබලය කවරේය යත්: මහණෙනි, මෙ ලොව්හි කිසිවෙක් මෙසේ නුවණින් පස්විකා බලයි: කායදුශ්චරිතයාගේ ලාමක විපාකය වනාහි දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. වාග්දුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. මනෝදුශ්චරිතයාගේ ලාමක වූ විපාකය දිටුදැමියෙහි ද පරලොව්හි ද වෙයි. හේ මෙසේ නුවණින් බලා කායදුශ්චරිතය හැරපියා කායසුචරිතය වඩයි. වාග්දුශ්චරිතය හැරපියා වාක්සුචරිතය වඩයි. මනෝදුශ්චරිතය හැරපියා මනස්සුචරිතය වඩයි. පිරිසිදු අත්බව පරිහරණය කෙරෙයි. මහණෙනි, මේ පටිසඞ්ඛානබලැ යි කියනු ලැබේ. මහණෙනි, භාවනාබලය කවරේය යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, ක්ලේශපරිත්‍යාගය හා නිර්‍වාණප්‍රස්කන්‍දනය පිණිස පිරිනමන සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. ... විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, ක්ලේශපරිත්‍යාගය හා නිර්‍වාණප්‍රස්කන්‍දනය පිණිස පිරිනමන උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මේ භාවනාබලැ යි කියනු ලැබේ. මහණෙනි, මෙ බල දෙකයි.