2. 1. 1. 6.
සඤ්ඤෝජනීය සූත්‍රය
6. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: දශවිධ සංයෝජනයනට ප්‍රත්‍යය වූ ත්‍රෛභූමක ධර්‍මයන් විෂයෙහි යම් ආස්වාද විසින් බලන සුලු බවෙකුදු වේ නම්, සංයෝජනීයධර්‍මයන් විෂයෙහි යම් උකටලි විසින් බලන සුලු බවෙකුදු වේ නම්, යන මේ දෙකය.
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන් විෂයෙහි ආස්වාද විසින් දක්නාසුලු ව වෙසෙන්නේ රාගය නො හරනේ ය. ද්වේෂය නො හරනේ ය. මෝහය නො හරනේ ය. රාගය නො හැර ද්වේෂය නො හැර මෝහය නො හැර ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් වැලැප්මෙන් දුකින් දොම්නසින් අධිමාත්‍ර ආයාසයෙන් නො මිදෙයි. වට දුකින් නො මිදේය යි කියමි.
මහණෙනි, සංයෝජනීයධර්‍මයන් විෂයෙහි නිර්වේද වශයෙන් බලන සුලු ව වෙසෙන්නේ රාගය හරනේය, ද්වේෂය හරනේය, මෝහය හරනේය, රාගය හැර ද්වේෂය හැර මෝහය හැර ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් වැලැප්මෙන් දුකින් දොම්නසින් අධිමාත්‍ර ආයාසයෙන් මිදෙයි. වට දුකින් මිදේය යි කියමි. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන යි.
2. 1. 1. 7.
කණ්හ සූත්‍රය
7. මහණෙනි, මේ කෘෂ්ණ (පාප) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: (පවට විළිනැති බව වූ) අහිරිකය ද (පවට බිරිනැති බව වූ) අනොත්තප්පය ද යන දෙක යි. මහණෙනි, මේ කෘෂ්ණධර්‍මයෝ දෙදෙන ය.
2. 1. 1. 8.
සුක්ක සූත්‍රය
8. මහණෙනි, මේ ශුක්ල (කුශල) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: (පවට විළිඇති බව වූ) හිරිය ද (පවට බිරිඇති බව වූ) ඔත්තප්පය ද යන දෙක යි. මහණෙනි, මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ය.
2. 1. 1. 9.
චරියා සූත්‍රය
9. මහණෙනි, මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ලොව පාලනය කරත්. කවර දෙදෙනෙක යත්: හිරිය හා ඔත්තප්පය වේ. මහණෙනි, මේ ශුක්ල ධර්‍මයෝ දෙදෙන ලොව නොපල්නාහු නම්, මෙලෙව්හි වැදූ මවැ යි හෝ සුළු මවැ යි හෝ නැඳියැ යි හෝ ඇදුරුබිරියැ යි හෝ ගුරුන්ගේ අත්බරහ යි හෝ (වෙනස) නො පැණෙයි. ලෝකයෝ එළු තිරෙළුවන් මෙන් ද කුකුළු හූරන් මෙන් ද බලු සිවලුන් මෙන් ද පණත් බිඳුමට යන්නාහ. මහණෙනි, යම් හෙයෙකින් මේ ශුක්ලධර්‍මයෝ දෙදෙන ලොව රකිත් ද, එහෙයින් වැදූ මවැ යි හෝ සුළු මවැ යි හෝ නැඳියැ යි හෝ ඇදුරුබිරියැ යි හෝ ගුරුන්ගේ අත්බරහ යි හෝ (වෙනස) පැණෙයි.
2. 1. 1. 10.
වස්සූපනායිකා සූත්‍රය
10. මහණෙනි, මේ වස් එළැඹීම් දෙකෙකි. කවර දෙකෙක යත්: පෙරවස් එළැඹීම ය, පසුවස් එළැඹීම ය (යන දෙකයි) මහණෙනි, මේ වනාහි වස් එළැඹීම් දෙක යි.
පළමු වස්සූපනායිකා වගයි.
එහි උද්දානය:
වජ්ජ සූත්‍රය, පධාන සූත්‍රය, තපනීය සූත්‍ර දෙකය, පස්වන උපඤ්ඤාත සූත්‍රය, සංයෝජන සූත්‍රය, කණ්හ සූත්‍රය, සුක්ක සූත්‍රය, චරියා සූත්‍රය, වස්සූපනායිකා සූත්‍රය දැයි මෙයින් වර්‍ගය වේ.