2. 1. 1. 4.
අතපනීය සූත්‍රය
4. මහණෙනි, මේ අතපනීය වූ (නොතවන) ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි කිසිවකු විසින් කායසුචරිතය කරණ ලද වෙයි. කායදුශ්චරිතය නොකරණ ලද වෙයි. වාක්සුචරිතය කරණ ලද වෙයි. වාග්දුශ්චරිතය නොකරණ ලද වෙයි. මනඃසුචරිතය කරණ ලද වෙයි. මනෝදුශ්චරිතය නොකරණ ලද වෙයි. හේ මා විසින් කායසුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් කායදුශ්චරිතය නො කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් වාක්සුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් වාග්දුශ්චරිතය නො කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් මනස්සුචරිතය කරණ ලදැ යි නො තැවෙයි. මා විසින් මනෝදුශ්චරිතය නො කරණ ලදැ යි නො තැවෙයි. මහණෙනි, මේ වනාහි අතපනීය (නොතවන) ධර්‍මයෝ දෙදෙනයි.
2. 1. 1. 5.
උපඤ්ඤාත සූත්‍රය
5. මහණෙනි, මම ධර්‍මයන් දෙදෙනකුගේ ගුණ එළඹ දැන ගතිමි: (ධ්‍යානාදි) කුශලධර්‍මයන්හි (මෙතෙක් පමණියි) යම් නොතුස්නා බවෙක් වේ ද, ප්‍රධන් වීර්‍ය්‍යයෙහි යම් නොපසු බස්නා බවෙක් වේ ද (යන දෙකයි). මහණෙනි, මම නොපසු බස්නා සැහැවි ඇත්තෙම් ‘ඒකාන්තයෙන් සිරුරෙහි සම හා නහර හා ඇට ඉතිරි වේවා, මස් ලේ වියළේවා, යමෙක් පුරුෂ ශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් ලැබිය යුතු වේ නම්, එය නො ලැබ වීර්‍ය්‍යයාගේ තැබීමෙ (නැවැත්මෙ) ක් නම් නො වේ ය’ යි වැර වැඩීමි. මහණෙනි, ඒ මා විසින් සම්බෝධිය අප්‍රමාදයෙන් ලබන ලදු, අනුත්තර වූ (අර්‍හත්ඵල, නිර්‍වාණ සඞ්ඛ්‍යාත) යෝගක්‍ෂේමය අප්‍රමාදයෙන් ලබන ලදී.
මහණෙනි, තෙපි දු නො පසු බස්නා වැර වඩව: ‘ඒකාන්තයෙන් ශරීරයෙහි සම හා නහර හා ඇට ඉතිරි වේවා, මස් ලේ වියළේවා, යමෙක් පුරුෂශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් ලැබිය යුතු වේ නම්, එය නො ලැබ වීර්‍ය්‍යයාගේ නැවැත්මෙක් නම් නො වේ ය’ කියා යි. මහණෙනි, තෙපි දු මඳ කලෙකින් ම යමක් (යම් රහත්ඵලක්) උදෙසා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට මොනොවට යෙත් නම්, මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයෙහි කෙළවර වූ ඒ අනුත්තර ආර්‍ය්‍යඵලය දිටුදැමියෙහි ම තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට සපයා වාසය කරව.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතුයි: ‘මාගේ සිරුරෙහි ඒකාන්තයෙන් සම් හා නහර හා ඇට ඉතිරි වේවා, මස් ලේ වියළේවා, නො පසුබස්නා වැර වඩන්නම්හ, යමෙක් පුරුෂශක්තියෙන් පුරුෂවීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණිය යුතු වේ නම්, එයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ තැබීමෙක් නම් නො වේ ය’ කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
2. 1. 1. 6.
සඤ්ඤෝජනීය සූත්‍රය
6. මහණෙනි, මේ ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: දශවිධ සංයෝජනයනට ප්‍රත්‍යය වූ ත්‍රෛභූමක ධර්‍මයන් විෂයෙහි යම් ආස්වාද විසින් බලන සුලු බවෙකුදු වේ නම්, සංයෝජනීයධර්‍මයන් විෂයෙහි යම් උකටලි විසින් බලන සුලු බවෙකුදු වේ නම්, යන මේ දෙකය.
මහණෙනි, සංයෝජනීය ධර්‍මයන් විෂයෙහි ආස්වාද විසින් දක්නාසුලු ව වෙසෙන්නේ රාගය නො හරනේ ය. ද්වේෂය නො හරනේ ය. මෝහය නො හරනේ ය. රාගය නො හැර ද්වේෂය නො හැර මෝහය නො හැර ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් වැලැප්මෙන් දුකින් දොම්නසින් අධිමාත්‍ර ආයාසයෙන් නො මිදෙයි. වට දුකින් නො මිදේය යි කියමි.
මහණෙනි, සංයෝජනීයධර්‍මයන් විෂයෙහි නිර්වේද වශයෙන් බලන සුලු ව වෙසෙන්නේ රාගය හරනේය, ද්වේෂය හරනේය, මෝහය හරනේය, රාගය හැර ද්වේෂය හැර මෝහය හැර ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් වැලැප්මෙන් දුකින් දොම්නසින් අධිමාත්‍ර ආයාසයෙන් මිදෙයි. වට දුකින් මිදේය යි කියමි. මහණෙනි, මේ වනාහි ධර්‍මයෝ දෙදෙන යි.