10. 1. 1. 2.
චේතනාකරණීය සූත්රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, සිල්සපන් සිල්වත් හට ‘මට අවිප්රතිසාරය උපදීව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, යම්හෙයෙකින් සිල්සපන් සිල්වත්හට අවිප්රතිසාරය උපදනේය යන තෙල ධර්මතා යි. මහණෙනි, ‘මට ප්රාමෝද්යය උපදීව’යි අවිප්රතිසාරීහට චේතනායෙන් කරණී නැත. මහණෙනි, අවිප්රතිසාරීහට ප්රාමෝද්යය උපදනේය යන තෙල ධර්මතා යි. මහණෙනි, ප්රමුදිත වූවහුට ‘මට ප්රීතිය උපදීව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, ප්රමුදිතයාහට ප්රීතිය උපදනේය යන තෙල ධර්මතා යි. මහණෙනි, ප්රීතිමනස්කයාට ‘මාගේ කය සන්හිඳේව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, ප්රීතිමනස්කයාගේ කය සන්හිඳේය යන තෙල ධර්මතා යි. මහණෙනි, සන්හුන් කය ඇතියහට ‘සුව විඳිනෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, සන්හුන් කය ඇතියේ සුව විඳුනේ ය යන තෙල ධර්මතා යි. මහණෙනි, ‘මගේ සිත සමාහිතවේවා’යි සුව ඇතියහට චේතනායෙන් කරණී නැත. මහණෙනි, සුව ඇතියහුගේ සිත සමාහිත වන්නේය යන තෙල ධර්මතා යි. මහණෙනි, සමාහිතයාට ‘යථාභූතය දන්නෙම්වයි, දක්වන්නෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, සමාහිත වූයේ යථාභූතය දන්නේ ය’ දක්නේය යන තෙල ධර්මතා යි. මහණෙනි, යථාභූතය දන්නහුට දක්නහුට ‘නිර්වේද කරවම්හයි, විරාග කරවම්හ’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, යථාභූතය දන්නේ දක්නේ නිර්වේදය කෙරේය, නො ඇලේය යන තෙල ධර්මතා යි. මහණෙනි, නිර්වේදකරනුවහට විරාග කරනුවහට ‘විමුත්තිඥානදර්ශනය පසක් කරනෙම්ව’යි චේතනායෙන් කරණී නැත. මහණෙනි, නිර්විග්න වූයේ විරක්ත වූයේ විමුත්තිඥානදර්ශනය පසක් කරණේය යන තෙල ධර්මතා යි.
මහණෙනි, මෙසෙයින් නිබ්බිදාවිරාගය විමුක්තිඥානදර්ශනය අර්ත්ථ කොට විමුක්තිඥානදර්ශනය අනුසස් කොට ඇත්තේ ය. යථාභූතඥානදර්ශනය නිබ්බිදාවිරාගය අර්ත්ථ කොට නිබ්බිදාවිරාගය අනුසස් කොට ඇත. සමාධිය යථාභූතඥානදර්ශනය අර්ත්ථ කොට යථාභූතඥානදර්ශනය අනුසස් කොට ඇත. සුඛය සමාධිය අර්ත්ථ කොට සමාධිය අනුසස් කොට ඇත. ප්රශ්රබ්ධිය සුඛය අර්ත්ථ කොට සුඛය අනුසස් කොට ඇත. ප්රීතිය ප්රශ්රබ්ධිය අර්ත්ථකොට ප්රශ්රබ්ධිය අනුසස් කොට ඇත. ප්රාමෝද්යය ප්රීතිය අර්ත්ථ කොට ප්රීතිය අනුසස් කොට ඇත. අවිප්රතිසාරාය ප්රාමෝද්යය අර්ත්ථ කොට ප්රාමෝද්යය අනුසස් කොට ඇත. කුශලශීලයෝ අවිප්රතිසාරය අර්ත්ථ කොට අවිප්රතිසාරය අනුසස් කොට ඇතියහ.
මහණෙනි, මෙසෙයින් (ත්රෛභූමකවර්ත සඞ්ඛ්යාත) ඔරිමතීරයෙන් නිබ්බානපාර සඞ්ඛ්යාත පාරිමතීරයට යාම සඳහා ධර්මයෝ ම ධර්මයන් පවත්වන්නාහ, ධර්මයෝ ම ධර්මයන් පුරන්නාහයි.
10. 1. 1. 3.
ප්රථම උපනිස සූත්රය
[සැවැත් නුවර]
මහණෙනි, ශීලවිපන්න වූ දුශ්ශීලහට අවිප්රතිසාරය නටහේතු ඇතියේ වෙයි. අවිප්රතිසාරය නැතිවත් ම අවිප්රතිසාර විපන්නහට ප්රාමෝද්යය නටහේතු ඇතියේ වෙයි. ප්රාමෝද්යය නැතිවත් ම ප්රාමෝද්යයවිපන්නහට ප්රීතිය නටහේතු ඇති වෙයි. ප්රීතිය නැතිවත්ම ප්රීතිවිපන්නහට ප්රශ්රබ්ධිය නටඋපනිඃශ්රය ඇතියේ වෙයි. ප්රශ්රබ්ධිය නැතිවත් ම ප්රශ්රබ්ධිවිපන්නහට සුඛය නටඋපනිඃශ්රය ඇතියේ වෙයි. සුඛය නැතිවත්ම සුඛවිපන්නහට සම්යක්සමාධිය නටඋපනිඃශ්රය ඇතියේ වෙයි. සම්මාසමාධිය නැතිවත් ම සම්මාසමාධිවිපන්නහට යථාභූතඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇතියේ වෙයි. යථාභූතඥානදර්ශනය නැතිවත් ම යථාභූතඥානදර්ශනවිපන්නහට නිබ්බිදාවිරාගය නටඋපනිඃශ්රය ඇති වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නිබ්බිදාවිරාගවිපන්නහට විමුක්තිඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇත්තේ වේ.
මහණෙනි, යම් සේ රුකෙක් අතුකොළින් ගිලිහුනේ නම් එහි පිට පොතුදු පිරිපුන්බවට නොයෙයි. ඇතුළුපොතුදු, ඵලදු, හරදු පිරිපුන්බවට නොයේ, මහණෙනි, එසෙයින් ම ශීලවිපන්න දුශ්ශීලහට අවිප්රතිසාරය නටඋපනිඃශ්රය ඇත්තේය. අවිප්රතිසාරය නැතිවත් ම ... විමුක්තිඥානදර්ශනය නටඋපනිඃශ්රය ඇත්තේ යි.
මහණෙනි, සිල්සපන් සිල්වත්හට අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත් ම අවිප්රතිසාරසම්පන්නහට ප්රාමෝද්යය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රාමෝද්යය ඇතිවත් ම ප්රාමෝද්යයසම්පන්නහට ප්රීතිය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රීතිය ඇතිවත් ම ප්රීතිසම්පන්නහට ප්රශ්රබ්ධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. ප්රශ්රබ්ධිය ඇතිවත් ම ප්රශ්රබ්ධිසම්පන්නහට සුඛය උපනිඃශ්රයසම්පන්න වෙයි. සුඛය ඇතිවත් ම සුඛසම්පන්නහට සම්මාසමාධිය උපනිඃශ්රයසම්පන්න වෙයි. සම්මාසමාධිය ඇතිවත් ම සම්මාසමාධිසම්පන්නහට යථාභූතඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්ශනය ඇතිවත් ම යථාභූතඥානදර්ශනසම්පන්නහට නිබ්බිදාවිරාගය උපනිඃශ්රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නහට විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි.
මහණෙනි, යම්සේ ශාඛාපලාස සමෘද්ධ වෘක්ෂයෙක් වේ ද, එහි පිට පොතුදු පිරිපුන්බවට යෙයි. ඇතුළුපොතුදු, බොරුදු, හරදු පිරිපුන් බවට යෙයි. මහණෙනි, එසෙයින් ම සිල්සපන් සිල්වත්හට අවිප්රතිසාරය උපනිඃශ්රයසම්පන්න වෙයි. අවිප්රතිසාරය ඇතිවත් ම අවිප්රතිසාරසම්පන්නහට ... විමුක්තිඥානදර්ශනය උපනිඃශ්රයසම්පන්න වෙයි.