1. 16. 3. 4.
මහණෙනි, යමෙක් මෙසේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට නොවැඩ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ ද, මහණෙනි, මස්කරි මෝඝපුරුෂයා බඳු අන් එක පුඟුලකු මම නො දක්මි. මහණෙනි, යම්සේ හෝමුවදොර බොහෝ මස්නට අහිත පිණිස දුක් පිණිස නොවැඩ පිණිස වැසන පිණිස කෙමිනක් බහා ලන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මස්කරි මෝඝපුරුෂයා බොහෝ සත්නට අහිත පිණිස දුක් පිණිස නොවැඩ පිණිස වැසන පිණිස ලෙව්හි උපන් මිනිස් කෙමිනක් බඳු වේ.
1. 16. 3. 5.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරක ශාසනයෙහි යමෙකුත් සමාදන් කරවා නම්, යමකුදු ලවා සමාදන් කරවා නම්, සමාදන් කරවන ලද යම් අතැවැසියෙකුත් ඒ පිණිස පිළිපදනේ නම්, ඒ හැම දෙන බොහෝ පව් රැස් කෙරෙත්. ඒ කවරහෙයින: මහණෙනි, ඒ ශාසනය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 6.
මහණෙනි, මොනොවට (ඒකාන්තනෛර්‍ය්‍යාණිකභාවයෙන්) දෙසන ලද ශාසනයෙහි යමෙකුත් සමාදන් කරවා නම්, යමකුදු ලවා සමාදන් කරවා නම්, සමාදන් කරවන ලද යම් අතැවැසියෙකුත් ඒ පිණිස පිළිපදනේ නම්, ඒ හැම දෙන බොහෝ පින් රැස් කෙරෙත්. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය මොනොවට දෙසන ලද බැවිනි.
1. 16. 3. 7.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරකශාසනයෙහි දායකයා විසින් පමණ දත යුතු වෙයි. ප්‍රතිග්‍රාහකයා විසින් නොදත යුතු වේ. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 8.
මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි ප්‍රතිග්‍රාහකයා විසින් පමණ දත යුතු වෙයි. දායකයා විසින් නොදත යුතු වේ. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය මොනොවට දෙසන ලද බැවිනි.
1. 16. 3. 9.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරකශාසනයෙහි යමෙක් පටන්ගත් වැර ඇතියේ ද, හේ දුකසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 10.
මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි යමෙක් කුසීත (තුන් විතක් ඇති) වේ ද, හේ දුකසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය මනාකොට දෙසන ලද බැවිනි.
1. 16. 3. 11.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරක ශාසනයෙහි යමෙක් කුසීත වේ ද, හේ සුවසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 12.
මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි යමෙක් පටන්ගත් වැර ඇතියේ ද, හේ සුවසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය මොනොවට දෙසන ලද බැවිනි.
1. 16. 3. 13.
මහණෙනි, යම්සේ අල්පමාත්‍ර වූත් ගූථය දුගඳ වේ ද, එසෙයින් ම මම අල්පමාත්‍ර කාලයකුදු යටතින් ඇඟිලිපොළනකල් පමණකුදු භවප්‍රතිසන්‍ධිය නො වණමි.