1. 16. 3. 5.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරක ශාසනයෙහි යමෙකුත් සමාදන් කරවා නම්, යමකුදු ලවා සමාදන් කරවා නම්, සමාදන් කරවන ලද යම් අතැවැසියෙකුත් ඒ පිණිස පිළිපදනේ නම්, ඒ හැම දෙන බොහෝ පව් රැස් කෙරෙත්. ඒ කවරහෙයින: මහණෙනි, ඒ ශාසනය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 6.
මහණෙනි, මොනොවට (ඒකාන්තනෛර්‍ය්‍යාණිකභාවයෙන්) දෙසන ලද ශාසනයෙහි යමෙකුත් සමාදන් කරවා නම්, යමකුදු ලවා සමාදන් කරවා නම්, සමාදන් කරවන ලද යම් අතැවැසියෙකුත් ඒ පිණිස පිළිපදනේ නම්, ඒ හැම දෙන බොහෝ පින් රැස් කෙරෙත්. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය මොනොවට දෙසන ලද බැවිනි.
1. 16. 3. 7.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරකශාසනයෙහි දායකයා විසින් පමණ දත යුතු වෙයි. ප්‍රතිග්‍රාහකයා විසින් නොදත යුතු වේ. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 8.
මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි ප්‍රතිග්‍රාහකයා විසින් පමණ දත යුතු වෙයි. දායකයා විසින් නොදත යුතු වේ. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය මොනොවට දෙසන ලද බැවිනි.
1. 16. 3. 9.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරකශාසනයෙහි යමෙක් පටන්ගත් වැර ඇතියේ ද, හේ දුකසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 10.
මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි යමෙක් කුසීත (තුන් විතක් ඇති) වේ ද, හේ දුකසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය මනාකොට දෙසන ලද බැවිනි.
1. 16. 3. 11.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරක ශාසනයෙහි යමෙක් කුසීත වේ ද, හේ සුවසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 12.
මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි යමෙක් පටන්ගත් වැර ඇතියේ ද, හේ සුවසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය මොනොවට දෙසන ලද බැවිනි.
1. 16. 3. 13.
මහණෙනි, යම්සේ අල්පමාත්‍ර වූත් ගූථය දුගඳ වේ ද, එසෙයින් ම මම අල්පමාත්‍ර කාලයකුදු යටතින් ඇඟිලිපොළනකල් පමණකුදු භවප්‍රතිසන්‍ධිය නො වණමි.