1. 14. 4. 1-16.
මහණෙනි, යම් ආනන්‍ද නම් මහණෙක් වේ ද, බොහෝ ඇසූ පිරූ තැන ඇති මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්‍ර වෙයි, … යම් ආනන්‍ද නම් මහණෙක් වේ ද … ධාරණස්මෘති ඇති මහණුන් අතුරෙහි … ප්‍රඥාගති ඇති … ධෘතිමත් වූ … උපස්ථායක වූ මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්‍ර වෙයි. … යම් උරුවේලකස්සප නම් මහණෙක් වේ ද, මහපිරිස් ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් කාළුදායී නම් මහණෙක් වේ ද, කුල පහදවන මාගේ සවු මහණුන් අතුරෙහි … යම් බක්කුල නම් මහණෙක් වේ ද, නීරෝග වූ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් සෝභිත නම් මහණෙක් වේ ද, පෙර විසූ කඳපිළිවෙළ සිහි කරණ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් උපාලි නම් මහණෙක් වේ ද, විනයධර වූ මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතුරෙහි …යම් නන්‍දක නම් මහණෙක් වේ ද, මෙහෙණනට ඔවා දෙන මාගේ සවු මහණුන් අතුරෙහි … යම් නන්‍ද නම් මහණෙක් වේ ද, ඉඳුරන් කෙරෙහි වැසූ දොර ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් මහාකප්පින නම් මහණෙක් වේ ද, භික්‍ෂූන්ට අවවාද කරණ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් සාගත නම් මහණෙක් වේ ද, තේජෝධාතු සමාපත්තියට සමවැදීමෙහි දක්‍ෂ වූ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් රාධ නම් මහණෙක් වේ ද, ධර්‍මදේශනා ප්‍රතිභානයට ප්‍රත්‍යය වන කථා ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් මෝඝරාජ නම් මහණෙක් වේ ද, රූක්‍ෂචීවර දරන මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්‍ර වේ.
සතරවන වග යි.
1. 14. 5. 1-13.
මහණෙනි, යම් මහාප්‍රජාපතී ගෝතමී නම් මෙහෙණක් ඇද්ද, චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවිකා මෙහෙණන් අතුරෙහි තුලු අග්‍ර වේ. … යම් ඛේමා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ මහාප්‍රඥා ඇති මෙහෙණන් අතුරෙහි … යම් උප්පලවණ්ණා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ ඍද්ධි ඇති මෙහෙණන් අතුරෙහි … යම් පටාචාරා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ විනයධර මෙහෙණන් අතුරෙහි … යම් ධම්මදින්නා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ ධර්‍ම කථික මෙහෙණන් අතුරෙහි … යම් නන්‍දා නම් මෙහෙණක් ඇද්ද, ධ්‍යානයෙහි ඇලුනු මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් සෝණා නම් මෙහෙණක් ඇද්ද, මාගේ ශ්‍රාවිකා වූ සම්පූර්‍ණ කරණ ලද වීර්‍ය්‍යය ඇති මෙහෙණන් අතුරෙහි .. යම් සකුලා නම් මෙහෙණක් ඇද්ද, දිවැස් ඇති මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් භද්දා කුණ්ඩලකේසී නම් මෙහෙණක් ඇද්ද, ක්‍ෂිප්‍රාභිඥා වූ මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් භද්දා කාපිලානී නම් මෙහෙණක් ඇද්ද, පෙර විසූ කඳපිළිවෙලින් සිහි කරණ මාගේ ශ්‍රාවිකා මෙහෙණන් අතුරෙහි … යම් භද්දකච්චානා නම් මෙහෙණක් ඇද්ද, මහා අභිඥා ලද මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් කිසාගෝතමී නම් මෙහෙණක් ඇද්ද, රූක්‍ෂ චීවර දරණ මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි … යම් සිගාලමාතු නම් මෙහෙණක් ඇද්ද, ශ්‍රද්ධාලක්‍ෂණයෙහි බැස ගත් මාගේ ශ්‍රාවිකා වූ මෙහෙණන් අතුරෙහි තුලු අග්‍ර වේ.
පස්වන වග යි.
1. 14. 6. 1-10.
මහණෙනි, යම් තපුස්ස ය භල්ලික ය යන වෙණෙදහු දෙදෙනෙක් වෙත් ද, හැමට පළමු ව සරණ යන මාගේ ශ්‍රාවක වූ උපාසකයන් අතුරෙහි තෙලහු අග්‍ර වෙත්. … යම් අනාථපිණ්ඩික සුදත්ත නම් වූ ගෘහපතියෙක් වේ ද, දායක වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් මච්ඡිකාසණ්ඩ පුරවාසී චිත්ත නම් ගෘහපතියෙක් වේ ද, ධර්‍මකථික වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් හත්‍ථක ආළවක නම් රජෙක් වේ ද, සිවුසඟරාවතින් පිරිස් සගන්නා මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් මහානාම නම් ශාක්‍යයෙක් වේ ද, ප්‍රණීත ප්‍රත්‍යය දෙන මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් විසල්පුර වැසි උග්ග නම් ගැහැවියෙක් වේ ද, මනාප දෑ දෙන මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් උග්ගත නම් ගැහැවියෙක් වේ ද, සඞ්ඝෝපස්ථායක වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් සූරම්බට්ඨ නම් සිටුවරයෙක් වේ ද, අචලප්‍රසාදයෙන් සමන්‍විත වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් ජීවක කෝමාරභච්ච නම් උපාසකයෙක් වේ ද, පෞද්ගලික ප්‍රසාදයෙන් සමන්‍විත වූ මාගේ ශ්‍රාවක උපාසකයන් අතුරෙහි … යම් නකුලපිතු නම් ගැහැවියෙක් වේ ද, විශ්වාස කථා ඇති මාගේ ශ්‍රාවක වූ උපාසකයන් අතුරෙන් තෙල අග්‍ර වේ.
සවැනි වග යි.