14. ඒතදග්ග පාළිය
1. 14. 1. 1-10.
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් මහණෙක් වේ ද, චිරරාත්රඥ වූ මාගේ ශ්රාවක භික්ෂූන් අතුරෙහි මෙ අග්ර වෙයි. … යම් ශාරීපුත්ර නම් මහණෙක් වේ ද, මහාප්රාඥ වූ මාගේ ශ්රාවකයන් අතුරෙහි … යම් මහා මෞද්ගල්යායන නම් මහණෙක් වේ ද, ඍද්ධිමතුන් අතුරෙහි … යම් මහාකාශ්යප නම් මහණෙක් වේ ද, ධුතවාද ඇත්තවුන් අතුරෙහි … යම් අනුරුද්ධ නම් මහණෙක් වේ ද, දිවැස් ඇතියන් අතුරෙහි … කාළිගෝධාවගේ පුත් යම් භද්දිය නම් මහණෙක් වේ ද, උසස් කුලයෙහි උපනුවන් අතුරෙහි … යම් ලකුණ්ටක භද්දිය නම් මහණෙක් වේ ද, මිහිරි කටහඬ ඇතියන් අතුරෙහි … යම් පිණ්ඩෝලභාරද්වාජ නම් මහණෙක් වේ ද, සිංහනාද කරනුවන් අතුරෙහි … යම් මන්තාණි බැමිණියගේ පුත් පුණ්ණ නම් මහණෙක් වේ ද, ධර්මකථිකයන් අතුරෙහි … යම් මහාකච්චාන නම් මහණෙක් වේ ද, සැකෙවින් කියූ දැයෙහි අරුත් විතරින් බෙදා දක්වන මාගේ ශ්රාවක භික්ෂූන් අතුරෙහි මේ අග්ර වෙයි.
පළමුවන වග යි.
1. 14. 2. 1-11.
මහණෙනි, යම් චුල්ලපන්ථක නම් මහණෙක් වේ ද, මනෝමය කය මවන මාගේ ශ්රාවක භික්ෂූන් අතුරෙහි මේ අග්ර වෙයි. … යම් චුල්ලපන්ථක නම් මහණෙක් වේ ද, චේතෝවිවට්ට (රූපධ්යාන) යෙහි දක්ෂ වූ භික්ෂූන් අතුරෙහි … යම් මහාපන්ථක නම් මහණෙක් වේ ද, සඤ්ඤාවිවට්ට (අරූපධ්යාන) යෙහි දක්ෂ වූ භික්ෂූන් අතුරෙහි … යම් සුභූති නම් මහණෙක් වේ ද, කෙලෙස් රහිත විහරණ ඇතියන් අතුරෙහි … යම් සුභූති නම් මහණෙක් වේ ද, දක්ෂිණාර්හයන් අතුරෙහි … කිහිරිවන වැසි යම් රේවත නම් මහණෙක් වේ ද, අරණ්යවාසී මාගේ ශ්රාවක භික්ෂූන් අතුරෙහි … යම් කඞ්ඛාරේවත නම් මහණෙක් වේ ද, ධ්යානයෙහි ඇලුනවුන් අතුරෙහි … කොළිවීස ගෝත්රයෙහි උපන් යම් සෝණ නම් මහණෙක් වේ ද, පිරිපුන් වැර ඇති භික්ෂූන් අතුරෙහි … යම් කුටිකණ්ණසෝණ නම් මහණෙක් වේ ද, කලණ බස් තෙපලනුවන් අතුරෙහි … යම් සීවලී නම් මහණෙක් වේ ද, සිවුපසය ලබනුවන් අතුරෙහි … යම් වක්කලි නම් මහණෙක් වේ ද, බලවත් සැදැහැ ඇති මාගේ ශ්රාවක භික්ෂූන් අතුරෙන් මේ අග්ර වෙයි.
දෙවැනි වග යි.
1. 14. 3. 1-10.
මහණෙනි, යම් රාහුල නම් මහණෙක් වේ ද, මාගේ ශ්රාවක වූ සිඛ කැමැති භික්ෂූන් අතුරෙහි මේ අග්ර වේ … යම් රට්ඨපාල නම් මහණෙක් වේ ද, සැදැහැයෙන් පැවිදි වූ මාගේ ශ්රාවක භික්ෂූන් අතුරෙහි … යම් කුණ්ඩධාන නම් මහණෙක් වේ ද, පෙරට ව ලහගන්නා මාගේ ශ්රාවක වූ මහණුන් අතුරෙහි … යම් වඞ්ගීස නම් මහණෙක් වේ ද, පිරිපුන් වැටහීම් ඇති මාගේ ශ්රාවක භික්ෂූන් අතුරෙහි … වඞ්ගන්ත බ්රාහ්මණයාගේ පුත්ර වූ යම් උපසේන නම් මහණෙක් වේ ද, පැහැදීම එළවන මාගේ ශ්රාවක වූ මහණුන් අතුරෙහි … මල්ලරාජපුත්ර වූ යම් දබ්බ නම් මහණෙක් වේ ද, සෙනසුන් පණවන මාගේ ශ්රාවක වූ භික්ෂූන් අතුරෙහි … යම් පිළින්දිවච්ඡ නම් මහණෙක් වේ ද, දෙවියනට ප්රියමනාප වූ මාගේ ශ්රාවක වූ මහණුන් අතුරෙහි … යම් දාරුචීරිය බාහිය නම් මහණෙක් වේ ද, වහා ලත් අභිඥා ඇති මාගේ ශ්රාවක වූ මහණුන් අතුරෙහි … යම් කුමාරකාශ්යප නම් මහණෙක් වේ ද, විසිතුරු ධර්මකථා ඇති මාගේ ශ්රාවක වූ මහණුන් අතුරෙහි … යම් මහාකොට්ඨිත නම් මහණෙක් වේ ද, පිළිසැඹියා ලත් මාගේ ශ්රාවක වූ මහණුන් අතුරෙහි මේ අග්ර වේ.
තුන්වැනි වග යි.
1. 14. 4. 1-16.
මහණෙනි, යම් ආනන්ද නම් මහණෙක් වේ ද, බොහෝ ඇසූ පිරූ තැන ඇති මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්ර වෙයි, … යම් ආනන්ද නම් මහණෙක් වේ ද … ධාරණස්මෘති ඇති මහණුන් අතුරෙහි … ප්රඥාගති ඇති … ධෘතිමත් වූ … උපස්ථායක වූ මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්ර වෙයි. … යම් උරුවේලකස්සප නම් මහණෙක් වේ ද, මහපිරිස් ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් කාළුදායී නම් මහණෙක් වේ ද, කුල පහදවන මාගේ සවු මහණුන් අතුරෙහි … යම් බක්කුල නම් මහණෙක් වේ ද, නීරෝග වූ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් සෝභිත නම් මහණෙක් වේ ද, පෙර විසූ කඳපිළිවෙළ සිහි කරණ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් උපාලි නම් මහණෙක් වේ ද, විනයධර වූ මාගේ ශ්රාවක වූ භික්ෂූන් අතුරෙහි …යම් නන්දක නම් මහණෙක් වේ ද, මෙහෙණනට ඔවා දෙන මාගේ සවු මහණුන් අතුරෙහි … යම් නන්ද නම් මහණෙක් වේ ද, ඉඳුරන් කෙරෙහි වැසූ දොර ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් මහාකප්පින නම් මහණෙක් වේ ද, භික්ෂූන්ට අවවාද කරණ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් සාගත නම් මහණෙක් වේ ද, තේජෝධාතු සමාපත්තියට සමවැදීමෙහි දක්ෂ වූ මාගේ සවු මහණුන් අතුරෙහි … යම් රාධ නම් මහණෙක් වේ ද, ධර්මදේශනා ප්රතිභානයට ප්රත්යය වන කථා ඇති මාගේ සවු මහණුන් අතුරෙහි … යම් මෝඝරාජ නම් මහණෙක් වේ ද, රූක්ෂචීවර දරන මාගේ සවු මහණුන් අතුරෙහි මේ අග්ර වේ.
සතරවන වග යි.