1. 10. 17.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ විනාශය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ද, මහණෙනි, ප්‍රමාදය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, ප්‍රමාදය සද්ධර්‍මයාගේ විනාශය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
1. 10. 18.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ද, මහණෙනි, අප්‍රමාදය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අප්‍රමාදය සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අවිනාශය පිණිස අතුරුදන් නො වීම පිණිස පවත්නේ ය.
1. 10. 19.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ද, මහණෙනි, කුසීත බව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුසීත බව සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ය.
1. 10. 20.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නො වීම පිණිස පවත්නේ ද, මහණෙනි, වීර්‍ය්‍යාරම්භය බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, වීර්‍ය්‍යාරම්භය සද්ධර්‍මයාගේ පැවැත්ම පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ය.
1. 10. 21-30.
මහණෙනි, යමක් මෙසේ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදන් වීම පිණිස පවත්නී ද, මහණෙනි, මහේච්ඡතාව බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. … අල්පේච්ඡතාව … අසන්තුට්ඨිතාව … සන්තුට්ඨිතාව … අයෝනිසෝමනසිකාරය … යෝනිසෝමනසිකාරය … අසම්පජඤ්ඤය … සම්පජඤ්ඤය … පාපමිත්‍රයන් ඇති බව … කල්‍යාණමිත්‍රයන් ඇති බව. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ය.
1. 10. 31.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අන්තර්‍ධානය පිණිස පවත්නේ ද, මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, අකුශලධර්‍මයන්හි යෙදීම හා කුශලධර්‍මයන්හි නො යෙදීම සද්ධර්‍මයාගේ ප්‍රමෝෂය පිණිස අතුරුදන්වීම පිණිස පවත්නේ ය.
1. 10. 32.
මහණෙනි, යමෙක් මෙසේ සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ද මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නොයෙදීම බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, කුශලධර්‍මයන්හි යෙදීම හා අකුශලධර්‍මයන්හි නො යෙදීම සද්ධර්‍මයාගේ ස්ථිතිය පිණිස අප්‍රමෝෂය පිණිස අතුරුදන් නොවීම පිණිස පවත්නේ ය.
චතුකෝටිකය නිමි.
1. 10. 33.
මහණෙනි, යම් ම මහණ කෙනෙක් (ඒ ඒ ධර්‍මප්‍රදේශ ඌනාධිකවශයෙන් ගෙණ) අධර්‍මය ධර්‍මය යි ප්‍රකාශ කෙරෙත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථය පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ භික්‍ෂූහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්‍මය අතුරුදන් කෙරෙත්.