පඤ්ච වර්ගය
1. කර්මවර්ගය
1. කර්ම සතරෙකි: අපලෝකන කර්ම යැ. ඤත්ති කර්ම යැ. ඤත්තිදුතිය කර්ම යැ, ඤත්තිචතුත්ථ කර්ම යැ යි. මේ සතර කර්මයෝ කෙතෙක් අයුරෙකින් කෝප්ය වෙත් ද ; මේ සතර කර්මයෝ පස් අයුරෙකින් කෝප්ය වෙති. වස්තුයෙන් හෝ ඤත්තියෙන් හෝ අනුශ්රාවණයෙන් හෝ සීමායෙන් හෝ පිරිස වසයෙන් හෝ යැ.
2. වස්ත්රයෙන් කර්මයෝ කෙසේ කෝප්ය වෙත් ද යත්: හමුයෙහි කටයුතු කර්මය නො හමුයෙහි කෙරෙයි. වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි. පිළිවිස කටයුතු කර්මය නො පිළිවිස කෙරෙයි, වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි. ප්රතිඥායෙන් කටයුතු කර්මය අප්රතිඥායෙන් කෙරෙයි, වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි. සතිවිනයට සුදුසු වූවහුට අමූළ්හවිනය දෙයි, වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි. අමූළ්හවිනයට සුදුසු වූවහුට තස්සපාපිය්යසිකාකර්මය කෙරෙයි, වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි. තස්සපාපිය්යසිකා කර්මයට සුදුසු වූවහුට තජ්ජනීය කර්මය කෙරෙයි. වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි. තජ්ජනීය කර්මයට සුදුසු වූවහුට නියස්සකර්මය කෙරෙයි. වස්තු විපන්න අධර්මකර්මය වෙයි. නියස්ස කර්මයට සුදුසු වූවහුට පබ්බාජනීය කර්මය කෙරෙයි. වස්තුවිපන්න අධර්මකර්මය වෙයි පබ්බාජනීය කර්මයට සුදුසු වූවහුට පටිසාරණීය කර්මය කෙරෙයි. වස්තුවිපන්න අධර්මකර්මය වෙයි. පටිසාරණීය කර්මයට සුදුසු වූවහුට උක්ඛේපනීය කර්මය කෙරෙයි, වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි. උක්ඛේපනීය කර්මයට සුදුසු වූවහුට පරිවාසය දෙයි, වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි. පරිවාසයට සුදුසු වූවහුට මූලායපටිකස්සනය කෙරෙයි, වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි. මූලායපටිකස්සනයට සුදුසු වූවහුට මානත දෙයි, වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි.
මානතට සුදුසු වූවහු අබිභාන කෙරෙයි, වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි. අබිභානයට සුදුසු වූවහු උපසපන් කෙරෙයි, වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි. නොපොහෝ දිනයෙහි පොහොය කෙරෙයි, වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි. නොපවුරුණු දිනයෙහි පවාරණය කෙරෙයි. වස්තුවිපන්න අධර්ම කර්මය වෙයි. මෙසේ වස්ත්රයෙන් කර්මයෝ කෝප්ය වෙත්.
3. ඤත්තියෙන් කර්මයෝ කෙසේ කෝප්ය වෙත් ද යත්: පස් අයුරෙකින් ඤත්තියෙන් කර්මයෝ කෝප්ය වෙත්, වස්තුව පරාමර්ශනය නො කෙරෙයි. සඞ්ඝයා පරාමර්ශනය නො කෙරෙයි. පුද්ගලයා පරාමර්ශනය නො කෙරෙයි. ඤත්තිය පරාමර්ශනය නො කෙරෙයි. පසු වැ ඤත්තිය තබයි. මේ පස් අයුරින් ඤත්තියෙන් කර්මයෝ කෝප්ය වෙත්.
4. අනුශ්රාවණයෙන් කර්මයෝ කෙසේ කෝප්ය වෙත් ද යත්: පස් අයුරෙකින් අනුශ්රාවණයෙන් කර්මයෝ කෝප්ය වෙත්. වස්තුව පරාමර්ශනය නො කෙරෙයි. සඞ්ඝයා පරාමර්ශනය නො කෙරෙයි. පුද්ගලයා පරාමර්ශනය නො කෙරෙයි. ඇස්වීම පිරිහෙළයි, නො කල්හි හෝ අස්වයි. මේ පස් අයුරෙන් අනුශ්රාවණයෙන් කර්මයෝ කෝප්ය වෙත්.
5. සීමායෙන් කර්මය කෙසේ කෝප්ය වෙත් ද යත්: එකොළොස් අයුරෙකින් සීමායෙන් කර්මයෝ කෝප්ය වෙත්. ඉතා කුඩා සීමාවක් සම්මත කෙරෙයි. ඉතා මහත් සීමාවක් සම්මත කෙරෙයි. අඝටිත නිමිති ඇති සීමාවක් සම්මත කෙරෙයි. සෙවණලු නිමිති කොට ඇති සීමාවක් සම්මත කෙරෙයි. නිමිති රහිත වූ සීමාවක් සම්මත කෙරෙයි. සීමාවෙන් බැහැර සිටියේ සීමාවක් සම්මත කෙරෙයි. නදියෙහි සීමාවක් සම්මත කෙරෙයි. සමුද්රයෙහි සීමාවක් සම්මත කෙරෙයි. විලෙහි සීමාවක් සම්මත කෙරෙයි. සීමායෙන් සීමාව මුසු කෙරෙයි. සීමායෙන් සීමාව යටපත් කෙරෙයි. මේ එකොළොස් අයුරින් සීමායෙන් කර්මයෝ කෝප්ය වෙත්.
6. පිරිස වශයෙන් කර්මයෝ කෙසේ කෝප්ය වෙත් ද යත්: දොළොස් අයුරෙකින් පිරිස වශයෙන් කර්මයෝ කෝප්ය වෙත්. චතුවර්ගකරණ කර්මයෙහි යම් පමණ භික්ෂුහු කර්ම ප්රාප්තයෝ ද ඔහු නො පැමිණියාහු වෙති. ඡන්දයට සුදුස්සන්ගේ ඡන්දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්රතික්රෝෂණය කෙරෙති. චතුර්වර්ගකරණ කර්මයෙහි යම් පමණ භික්ෂුහු කර්ම ප්රාප්තයෝ ද ඔහු පැමිණියාහු වෙති. ඡන්දයට සුදුස්සන්ගේ ඡන්දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්රතිකෝෂණය කෙරෙති. පඤ්චවර්ගකරණ කර්මයෙහි ... දශවර්ග කරණ කර්මයෙහි ... විංශතිවර්ගකරණ කර්මයෙහි යම් පමණ භික්ෂුහු කර්ම ප්රාප්තයෝ ද ඔහු පැමිණියාහු වෙති. ඡන්දයට සුදුස්සන් ගේ ඡන්දය නො ගෙණෙන ලද්දේ වෙයි. සම්මුඛ වූවෝ ප්රතික්රෝෂණය කෙරෙති විංශතිවර්ගකරණ කර්මයෙහි යම් පමණ භික්ෂුහු කර්මප්රාප්තයෝ ද ඔහු නොපැමිණියාහු වෙති. ඡන්දයට සුදුස්සන්ගේ ඡන්දය නො ගෙණෙන ලද්දේ වෙයි. හමු වූවෝ ප්රතිකෝෂණය කෙරෙති විංශතිවර්ගකරණ කර්මයෙහි යම් පමණ භික්ෂුහු කර්මප්රාප්තයෝද ඔහු පැමිණියාහු වෙති. ඡන්දයට සුදුස්සන්ගේ ඡන්දය ගෙණෙන ලද්දේ වෙයි. හමු වූවෝ ප්රතික්රෝෂණය කෙරෙති. මේ දොළොස් අයුරින් පිරිස වශයෙන් කර්මයෝ කෝප්ය වෙත්.