1. 4.
පාචිත්තිය කාණ්ඩය
4. 1.
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්යවත් අර්හත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් ලුහුණු අනුභව කරණ මෙහෙණ පිළිබඳ යම් පචිති සිඛයෙක් පණවනලද නම් එය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්දා මෙහෙණ පමණ නො දැන බොහෝ ලුහුණු ගෙන්වූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමක සමුට්ඨානයෙනි. ...
2. සම්බාධස්ථානයෙහි ලොම් බැහැර කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොහි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු සම්බාධස්ථානයෙහි ලොම් හැරවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
3. තලගැටීමෙහි පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: මෙහෙණ දෙනමක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: මෙහෙණ දෙනමක් තලගැටුම් කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි. පඨම පාරාජික සමුට්ඨානයෙනි. ...
4. ජතුමට්ටකයෙහි සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් ලතුයෙන් කළ මටදඬුවක් රහසඟෙහි ලූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨම පාරාජික සමුට්ඨානයෙනි. ...
5. අයිරා දෑඟුල් පුරුකකට වඩා උදකශුද්ධිය ගන්නා මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්යදනවුහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් දියෙන් පස මඟ ඉතා ගැඹුරු කොට දොවාපු යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟී. පඨමපාරාජික සමුට්ඨානයෙනි. ...
6. වළඳන මහණක්හට පැනින් හෝ විජිනියෙන් හෝ උවටැන් කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් වළඳන මහණක්හට පැනින් ද විජිනියෙන් ද උවැටන් කරමින් සිටියා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමකසමුට්ඨාන යෙනි. ...
7. අමු ධාන්ය විනවා වළඳන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබයැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අමුධාන්ය විනවා වැළඳුහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
8. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ බිත්තියෙන් පිටත හෝ පවුරෙන් පිටත හෝ දමන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලදයැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් මල බිත්තියෙන් පිටත දැමූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. ...