5. 1. 9.
ද්විතීයඋපක්ඛටශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩවසන සේක. තව ද එසමයෙහි එක්තරා මිනිසෙක් එක්තරා මිනිසකුට ‘මම් උපනන්‍ද හිමියනට සිවුරක් දෙන්නෙමි’ යි කීය. හෙ තෙමේ ‘මම ද උපනන්‍ද හිමියනට සිවුරක් දෙන්නෙමි’ යි කී ය. එක්තරා පිඬුසිඟා යන භික්‍ෂූ කෙනෙක් ඒ මිනිසුන්ගේ මේ කථාසල්ලාපය ඇසූහ. ඉක්බිති ඒ මහණ තෙමේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා කරා එළැඹ, ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා හට “ඇවැත්නි උපනන්‍දයෙනි, තෙපි මහපින් ඇත්තව, අසුවල් පෙදෙසෙහි එක්තරා මිනිසෙක් එක්තරා මිනිසකුට මම් උපනන්‍ද හිමියන් සිවුරකින් පුදන්නෙමි යි කී ය. හෙතෙමේ ‘මම ද උපනන්‍ද හිමියන් සිවුරකින් පුදන්නෙමි’ යි කීය. “ඇවැත්නි, ඔහු මට උපස්ථායකයෝ වෙති” යි උපනන්‍ද තෙරණුවෝ කීහ.
2. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ ඒ මිනිසුන් කරා එළැඹ “සැබැවෙක් ද? ඇවැත්නි, තෙපි මා සිවුරුවලින් පුදනු කැමැතියවු දැ?” යි විචාළහ. ‘හිමියෙනි, උපනන්‍ද හිමියන් පුදන්නම්හ’ යි මෙබඳු සිතෙක් නම් වියැ” යි ඔහු කීහ. ‘ඉදින් ඇවැත්නි, තෙපි සිවුරුවලින් පුදනු කැමැතියවු නම්, මෙබඳු සිවුරකින් පුදව්, යම් බඳු සිවුරු මම් පරිභෝග නො කෙරෙම් නම්, එයින් පුදන ලදුයෙම් නමුදු මම් කුමක් කෙරෙම් දැ’ යි තෙරණුවෝ කී හ.
3. එකල්හි ‘මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ මහේච්ඡයෝ ය. අසන්තුෂ්ටයෝ යැ. මොවුන් සිවුරුවලින් පුදන්නට පහසු නො වෙයි. කෙසේ නම් උපනන්‍ද හිමියෝ අප විසින් පෙර නො පවරණ ලද්දාහු සමීපයට පැමිණ චීවරයෙහි අධිකවිධානයට පැමිණියාහු දැ’ යි ඒ පුරුෂයෝ ගරහති නුගුණ කියති දොස් පහළ කෙරෙත්. භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ පුරුෂයන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡයෝ නම් ඔහු ‘කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ පෙර නො පවරණ ලද්දාහු ගැහැවියන් කරා පැමිණ චීවරයෙහි අධිකවිධානයට පැමිණියාහු දැ’ යි අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්.
4. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “සැබෑද උපනන්‍දය, තෝ පෙර නො පවරණ ලද්දේ ගැහැවියන් කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියේ ල?” යි භාග්‍යවත්හු පුළුවුත්හ. “සැබෑව, භාග්‍යවතුන් වහන්ස” යි තෙරණුවෝ කීහ. “උපනන්‍දය, තාගේ නෑයෝ ද නො නෑයෝ දැ” යි භාග්‍යවත්හු අසා වදාළහ. “නොනෑ කෙනෙක භාග්‍යයවතුන් වහන්සැ” යි තෙරණුවෝ කීහ. “තුච්ඡපුරුෂය, නො නෑයෙක් නො නෑයනට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ ඇති දැය හෝ නැති දැය හෝ නො දනියි. තුච්ඡපුරුෂය, එහි තෝ පෙර නො පවරණ ලද්දේ, නොනෑ ගැහැවියන්, කරා එළඹ චීවරයෙහි අධිකවිධානයට පැමිණියෙහි. තුච්ඡපුරුෂය, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“මහණක්හු ම උදෙසා නොනෑ වූ ගැහැවියන් දෙදෙනකුන් විසින් හෝ ගෙහඹුවන් දෙදෙනකුන් විසින් හෝ අපි මේ වෙන් වෙන් වූ සිවුරු මිලයෙන් වෙන වෙන සිවුරු මිල දී ගෙණ මෙනම් මහණහු සිවුරින් පුදම්හ” යි වෙන වෙන සිවුරු මිල රැස් කරණ ලද වේ ද, තෙල මහණ පෙර නො පවරන ලදුයේ ඔවුන් සමීපයෙහි එළඹ ‘ආයුෂ්මත්නි, තෙපි දෙදෙනා මැ එක් ව මේ වෙන වෙන සිවුරුමිලයෙන් මෙබඳු වූ ද මෙබඳු වූ ද සිවුරක් විකොටගෙණ එක් සිවුරෙකින් මා පුදන්නහු නම් මැනැවැ’ යි කල්‍යාණකම්‍යතාව සිතාගෙණ චීවරයෙහි අධිකවිධානයට පැමිණියේ වී නම් නිසැඟි පවිතී වේ.”
5. භික්‍ඛුං පනෙච උද්දීස්‍ස යනු: මහණක්හු සඳහා මහණක්හු අරමුණු කොට මහණකු ආච්ඡාදනය කරුණු කැමැත්තාහු.
උභින්නං යනු: දෙදෙනකුන්ගේ.
අඤ්ඤාතක නම්: මවුපියන් හෝ පියපසින් හෝ සත් වන මීමුතුන් යුවල දක්වා නො බැඳුනාහු.
ගහපති නම්: යම් කෙනෙක් ගිහිගෙයි වෙසෙත් ද ඔහු.
ගහපතානී නම්: ගිහිගෙයි වෙසෙන යම් කිසි ස්ත්‍රීහු ය.
චීවරචේතාපන්න නම්: අමුරන් හෝ රත්රන් හෝ මුතු හෝ මිණි හෝ පබළු හෝ පිළිමිණි හෝ පිළි හෝ හූ හෝ කපු හෝ ය.
ඉමෙහි චීවරචේතාපන්නෙහි යනු: වෙතට පත් දැයෙකින්, පරිවත්තෙත්‍වා යනු: පිරිවටා (වීකොටගෙණ)
අච්ඡාදෙස්සාම යනු: දෙන්නම් හ.
තත්‍ර වෙසො භික්‍ඛු යනු: යම් මහණකු උදෙසා සිවුරුමිල රැස් කරණ ලද ද ඒ මහණ.
පුබ්බේ අප්පවාරිතො යනු: ‘වහන්ස, ඔබට කෙබඳු සිවුරෙකින් ප්‍රයෝජන ද? කෙබඳු සිවුරක් ඔබට මිලදී ගණුවෝ දැ’ යි පෙර නො කියන ලද්දේ වෙයි.
උපසඞ්කමිත්‍වා යනු: ගෙට ගොස්, යම් තැනෙක්හි එළඹ.