5. 1. 10.
රාජශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙති. තවද එසමයෙහි ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන්ගේ උපස්ථායක වූ මහඇමැතියෙක් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ට දූතයකු ලවා සිවුරුමිලයක් යැවී ය. “මේ සිවුරුමිලයෙන් සිවුරක් විකොටගෙණ සිවුරෙන් උපනන්‍දහිමියන් පුදව’ යි. එකල්හි ඒ දූත තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් කරා එළඹ ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන්ට “වහන්ස, ආයුෂ්මතුන් උදෙසා මේ සිවුරුමිල ගෙණ එන ලද. ආයුෂ්මත්හු සිවුරුමිල පිළිගණිත්වා” යි කීය. මෙසේ කී කල්හි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍රයෝ ඒ දූතයාට “ඇවැත්නි, ඇපි සිවුරුමිල නො පිළිගණුම්හ. සුදුසු කල්හි කැප සිවුර වූ කලි ඇපි පිළිගණුම්හයි” කීහ. මෙසේ කී කල්හි ඒ දූත තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ගෙන් “ආයුෂ්මත්හට කිසි මෙහෙකරුවෙක් ඇද්දැයි” ඇසී ය. එකල්හි එක්තරා උපාසකයෙක් කිසි යම් කටයුත්තෙකින් ආරාමයට ගියේ ය. එකල්හි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයෝ ඒ දූතයාට “ඇවැත, තෙල උපාසක තෙම භික්‍ෂූන්ගේ මෙහෙකරු යයි කීහ. ඉක්බිති ඒ දූත තෙම ඒ උපාසකයාට දන්වා ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් කරා එළඹ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන්ට “වහන්ස, ආයුෂ්මත්හු යම් මෙහෙකරුවකු දැක්වූහු නම් මා විසින් හේ දන්වන ලද්දේ ය. ආයුෂ්මත්හු සුදුසුකල ඔහු කරා එළඹෙත්වා. සිවුරෙන් පුදන්නේ ය” යි කීය.
2. තව ද එසමයෙහි ඒ මහඇමැති තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත දූතයකු යැවී ය: “හිමියෝ ඒ සිවුර පරිභෝග කෙරෙත්වා, අපි හිමියන් ඒ සිවුර පරිභෝග කරණු කැමතියම්හ” යි. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ ඒ උවසුහට කිසිවක් නො කීහ. දෙවනවට ද ඒ මහඇමැති තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත දූතයකු යැවී ය: “හිමියෝ ඒ සිවුර පරිභෝග කෙරෙත්වා. අපි හිමියන් ඒ සිවුර පරිභෝග කරණු කැමැතියම්හ’ යි. දෙවනවට ද ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ ඒ උවසුහට කිසිවක් නො කීහ. තෙවනවට ද ඒ මහඇමති තෙම ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයන් වෙත දූතයකු යැවී ය: “හිමියෝ ඒ සිවුර පරිභෝග කෙරෙත්වා. අපි හිමියන් විසින් ඒ සිවුර පරිභෝග කරණු කැමතියම්හ” යි.
3. තවද එසමයෙහි නියම්ගම්වැසියන්ගේ සමාගමයෙක් වෙයි. නියම්ගම් වැසියන් විසිනුදු ‘යමෙක් පසු ව ඒ නම් (හෙතෙම) පණසකින් බැඳුනේ (කහවණු පණසක් දඩ ගෙවිය යුතු වේ’) යයි, කතිකායෙක් කරණ ලද වෙයි. ඉක්බිති ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ ඒ උපාසකයා වෙක එළඹ ඒ උපාසකයාහට මෙය කීහ:
‘ඇවැත, මට සිවුරෙන් ප්‍රයෝජනය ඇතැ’යි. “වහන්ස, අද එක් දවසක් බලව. අද නියම්ගම්වැසියන්ගේ සමාගමයෙක් වෙයි. නියම්ගම්වැසියන් විසිනුදු ‘යමෙක් පසුව ලා ඒ නම් (හෙතෙම) පණසකින් බැඳුණේ වේ’ යයි කතිකායෙක් කරණ ලද වෙයි. ‘අද ම ඇවැත, මට සිවුර දෙව’ යි එළියෙහි (හිඟැ) ගත්හ. ඉක්බිති ඒ උපාසක තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් විසින් දැඩි කොට පෙළනු ලබන්නේ ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයනට සිවුරක් මිලයට ගෙණ දී පසුවැ ලා ගියේ ය. මිනිස්සු ඒ උවසුහට මෙය කීහ: “කවර හෙයින් ආර්‍ය්‍යයෙනි, තෝ පසු වැ ලා ආයෙහි ද, පනසකට පැරදුනෙහි” යයි.
4. ඉක්බිති ඒ උපාසක තෙම ඒ මිනිසුන්ට මෙ පවත් දැන්වී ය. මිනිස්සු අවඥා කෙරෙහි නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “මේ ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ මහේච්ඡයෝ ය, අසන්තුෂ්ටයෝ ය, මොවුනට මෙහෙයකුදු කරන්නට පහසු නො වෙයි. කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍දයෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’යි කියනු ලබන්නාහු නො බැලූහු දැ’ යි භික්‍ෂූහු අවඥා කරණ නුගුණ කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පෙච්‍ඡයෝ නම් ඔහු අවඥා කෙරෙති නුගුණ කියති දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍රයෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’ යි කියනු ලබන්නාහු නොබැලූහු දැ’ යි ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කළහ. ‘සැබෑ ද උපනන්‍දය, තෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’ යි කියනු ලබන්නෙහි නො බැලීහි දැ? යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’ භාග්‍යවත් බුදුහු වෙසෙසින් ගැරහූහ. “කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ උපාසක විසින් ‘වහන්ස, අද එක් දවසකට බලනු මැනැවැ’ යි කියනු ලබන්නෙහි නො බැලීහි ද, තුච්ඡපුරුෂය, තෙල නො පහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“මහණක්හු ම උදෙසා රජෙක් හෝ රජ ඇමැතියෙක් හෝ බමුණෙක් හෝ ගැහැවියෙක් හෝ ‘මේ සිවුරුමිලයෙන් සිවුරක් විකොට ගෙණ මෙනම් මහණහු සිවුරෙන් ආච්ඡාදනය කරව’ යි දූතයකු ලවා සිවුරුමිලයක් යවා නම්, ඉදින් ඒ දූත තෙම ඒ මහණහු කරා එළඹ ‘වහන්ස, මේ සිවුරු මිලය ආයුෂ්මතුන් උදෙසා ගෙණ එන ලද ය. ආයුෂ්මත්හු සිවුරුමිලය පිළිගණිත්වා’ යි මෙසේ කියා නම්, ඒ මහණහු විසින් ඒ දූත තෙම මෙසේ කියයුතු වන්නේ ය. ‘ඇවැත, අපි සිවුරුමිල නො පිළිගණුම් හ. එතෙකුදුවත් ඇපි සුදුසු කල්හි කැප වූ සිවුරක් පිළිගනුම්හ’ යි. ඉදින් ඒ දූත තෙම ඒ මහණහට ‘ආයුෂ්මතුන්ගේ කිසි මෙහෙකරුවෙක් ඇද්දැ’යි මෙසේ කියා නම්, මහණෙනි, සිවුරු කැමති මහණහු විසින් ආරාමිකයෙක් වේවයි උපාසකයෙක් වේවයි ‘අවැත, මේ තෙම භික්‍ෂූන්ගේ මෙහෙකරු ය’ යි මෙහෙකරු දැක්විය යුත්තේ ය. ඉදින් ඒ දූත තෙම ඒ මෙහෙකරු ඇනවා මහණහු කරා එළඹ මෙසේ කියා නම්: ‘වහන්ස, ආයුෂ්මත්හු යම් මෙහෙකරුවකු දැක්වූහු ද, මා විසින් හෙතෙම ඇනවන ලද්දේ ය. ආයුෂ්මත්හු සුදුසු කල්හි එළඹෙත්වා, සිවුරෙන් මුඹ වහන්සේ පුදන්නේ ය’ යි. මහණෙනි, සිවුරු කැමැති මහණහු විසින් එළඹ ‘ඇවැත, මට සිවුරෙන් ප්‍රයෝජන ඇතැ’ යි මෙහෙකරු තෙම දෙතුන් වරක් සෙවිය යුත්තේ ය. සිහි කරවිය යුත්තේ ය.