5. 1. 7.
තතුත්තරිශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්වෙහෙරෙහි වැඩ වෙසෙති. එසමයෙහි සවග මහණහු අසිඳැගන්නා ලද සිවුරු ඇති භික්ෂූන් වෙත එළඹ මෙසේ කියති: ‘ඇවැත්නි, භාග්යවතුන් විසින් අසිඳැගන්නා ලද සිවුරු ඇතියහුට හෝ නට සිවුරු ඇතියහුට හෝ නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක හෝ සිවුරක් විනැවීම අනුදන්නා ලද. ඇවැත්නි, සිවුරක් විනවවු’ ය යි. ‘කම් නැත ඇවැත්නි, අප විසින් සිවුරක් ලබන ලදැ’ යි. ඔහු කියත්. ‘අපි ආයුෂ්මතුන් සඳහා විනවම්හ’ යි සවැඟියෝ කීහ. ‘විනවවු ඇවැත්නි’ යි ඔහු කීහ. ඉක්බිති සවග මහණහු නො නෑ ගැහැවියන් කරා එළඹ මෙසේ කීහ. ‘ඇවැත්නි, අසිඳැගන්නා ලද සිවුරු ඇති මහණහු ආහ. ඔවුනට සිවුරු දෙව’ යි බොහෝ සිවුරු විනවාගත්හ.
2. එසමයෙහි එක්තරා පුරුෂයෙක් සභායෙහි හුන්නේ එක්තරා පුරුෂයකුට මෙ පවත් කී ය: ‘ආර්ය්යයෙනි, අසිඳැගන්නා ලද සිවුරු ඇති භික්ෂූහු ආහ. මා විසින් ඔවුනට සිවුරක් දෙන ලදැ’ යි. හෙ ද මෙසේ කී ‘මා විසිනුදු දෙන ලදැ’ යි. අනෙකෙකුදු මෙසේ කී: ‘මා විසිනුදු දෙන ලදැ’ යි. ඔහු අවඥා කෙරෙත් අයුණු කියත් දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් ශ්රමණ ශාක්ය පුත්රීයයෝ පමණ නො දැන බොහෝ සිවුරු විනවා ගත්තු ද, පිළී වෙණෙඳහමක් හෝ ශ්රමණ ශාක්යපුත්රීයයෝ කෙරෙත් ද පිළී අවුණක් හෝ විවෘත කෙරෙත් දැ යි. භික්ෂූහු අවඥා කරණ අයුණු කියන දොස් පහළ කරණ ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවඥා කෙරෙති අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් සවඟ මහණහු පමණ නො දැන බොහෝ සිවුරු විනවූහු දැ’ යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
3. ‘සැබෑ ද මහණෙනි, තෙපි පමණ නො දැන බොහෝ සිවුරු විනවූහු ල’ යි භාග්යවත්හු ඇසූහ. “සැබෑව භාග්යවතුන් වහන්ස” යි ඔහු කීහ. භාග්යවත් බුදුහු ගර්හා කළහ: ‘කෙසේ නම් කුච්ඡ පුරුෂයෙනි, තෙපි පමණ නො දැන බොහෝ සිවුරු විනවූහු ද! තුච්ඡපුරුෂයෙනි, තෙල කරුණ නො පහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:”
“ඉදින් නොනෑ ගෘහපතියෙක් හෝ ගෘහපතිනියක් හෝ ඒ (අසිඳැගත්නට සිවුරු ඇති) මහණහට කැමතිතාක් ගෙන යන්නට බොහෝ සිවුරින් පවරා නම් ඒ මහණහු විසින් හඳනා සිවුර හා උතුරුසඟ පරම කොට ඇති සිවුරක් එයින් ඉවසිය යුතු” ය. ඉදින් එයින් මත්තෙහි ඉවසා නම් නිසැඟි පචිති වේ” යයි.
4. තඤ්චෙ යනු: පැහැරගන්නා ලද සිවුරු ඇති මහණ.
අඤ්ඤාතක නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වැනි මී මුතුන් යුගළුව දක්වා අසම්බද්ධයෝ ය.
ගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ ද හේ.
ගහපතානි නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ ද හෝ.
බහූහි චීවරෙහි යනු: බොහෝ වූ සිවුරින්.
අභිහට්ඨුං පවාරෙය්ය යනු: යම්තාක් රිසියෙහි නම් ඒ තාක් ගණුව යි.
සන්තරුත්තපරමං තෙන භික්ඛුනා තතෝ චීවරං සාදිතබ්බං යනු: ඉදින් තුන් සිවුර නටුයේ නම් දෙකෙක් ඉවසිය යුතු ය. දෙකෙක් නටුයේ නම් එකෙක් ඉවසිය යුතු ය. එකෙක් නටුයේ නම් කිසිවක් නො ඉවසිය යුතු ය.
තතො චෙ උත්තරිං සාදියෙය්ය යනු: එයින් මත්තෙහි විනවා නම් ප්රයෝගයෙහි දුකුළා වෙයි. සිවුරු ලැබීමෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේත් නිසැජිය යුතු ය.
‘වහන්ස, මේ මාගේ සිවුර නොනෑ ගැහැවියකු සතු වූයේ පමණින් මතුයෙහි විනවන ලද්දේ නිසැඟි විය, මෙය මම් සඟනට නිසදමි’ යි ... දෙන්නේ ය යි ... දෙන්නාහු ය යි ... ආයුෂ්මත්හට දෙමි’ යි ...
5. නොනෑයකු කෙරෙහි නොනෑයෙක යන සංඥා ඇති ව පමණින් මත්තෙහි සිවුරක් විනවා නම් නිසැඟි පචිති වෙයි. නොනෑයකු කෙරෙහි විමති ඇත්තේ ... නොනෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇත්තේ පමණින් මත්තෙහි සිවුරක් විනවා නම් නිසැගි පචිති වෙයි. නෑයකු කෙරෙහි නො නෑයෙක යන සංඥා ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි විමති ඇත්තේ, දුකුළාඇවැත් වෙයි. නෑයකු කෙරෙහි නෑයෙක යන සංඥා ඇත්තේ, ඇවැත් නැති.
6. සෙස්ස ‘ගෙණ එන්නෙමි’ යි ගෙණ යේ නම්, සෙස්ස තොපට ම වේවයි දෙත් නම් අසිඳැගන්නා ලද කරුණින් නො දෙත් නම්, තට හෙයින් නො දෙත් නම්, තතුත්තර සිවුරු ගන්නහුට, නෑයන් සතු, පැවරූවන් සතු තතුත්තර සිවුරු ගන්නහුට, තමාගේ ධනයෙන් ගන්නහුට, උම්මත්තකයාහට ආදිකම්මිකයාහට ඇවැත් නැති.
තතුත්තරි ශික්ෂාපදය නිමි.