5. 1. 6.
අඤ්ඤාතකවිඤ්ඤත්තිශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම්වෙහෙර වැඩ වෙසෙති. තව ද එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම ධර්‍මකථා කරන්නට සමර්‍ත්‍ථ වෙයි. එසඳ එක්තරා සිටු පුත්‍රයෙක් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් කරා එළඹ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ සිටුපුත්හට ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම දැහැමි කථායෙන් කරුණු දැක්වී ය. සමාදන් කරවී ය. තෙද ගැන්වීය. පැහැදවී. ඉක්බිති ඒ සිටුපුත් තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් විසින් දැහැමි කථායෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ පහදවන ලද්දේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රහට ‘වහන්ස, කැමැති දැයෙකින් කිව මැනව. අපි හිමියනට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නට සමර්‍ත්‍ථයම්හ’ යි මෙය කී ය: ‘ඉදින් ඇවැත්නි, තෝ මට දෙනු කැමැත්තෙහි නම් මෙයින් එක් සළුවක් දෙව’ යි හේ කීය.
2. “වහන්ස, කුලපුත් වූ අපට එක් සළුවකින් යන්නට ලජ්ජාකාරය වෙයි. වහන්ස, යම්තාක් ගෙට යෙම් ද, එතෙක් නවතිනු මැනව. ගෙට ගියෙම් මෙයින් එකක් හෝ මෙයට වඩා සුන්‍දරතරයක් හෝ එවන්නෙමි’ යි. දෙවන වට ද ... තෙවන වට ද ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර තෙම ඒ සිටුපුත්හට ‘ඉදින් ඇවැත්නි, තෝ මට දෙනු කැමැත්තෙහි නම් මෙයින් එක් සළුවක් දෙව’ යි කී ය. “වහන්ස කුලපුත් වූ අපට ඒකසාටක ව යන්නට ලජ්ජාකාරය වෙයි. වහන්ස, යම්තාක් ගෙට යෙම් ද එතෙක් නවතිනු මැනව. ගෙට ගියෙම් මෙයින් එකක් හෝ මෙයට වඩා සුන්‍දරතරයක් හෝ එවන්නෙමි’ යි හේ කී ය. “ඇවැත්නි, නො දෙනු කැමැති ව පැවැරූ තගෙන් කවර ප්‍රයෝජන ද? යම් හෙයකින් තෝ පවරා නො දෙයි ද එහෙයිනි’ යි හේ කීය. ඉක්බිති ඒ සිටුපුත් තෙම ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයා විසින් දැඩි ව පෙළනු ලබන්නේ එක් සළුවක් දී ගියේ ය. මිනිස්සු ඒ සිටුපුත්හු දැක ‘ආර්‍ය්‍යයෙනි, කුමක් හෙයින් තෙපි ඒකසාටක ව එන්නහු දැ’ යි. මෙය කීහ. එසඳ ඒ සිටුපුත් තෙම ඒ මිනිසුන්ට එ පවත් දැන්වී ය. මිනිස්සු අවඥා කෙරෙත්. අගුණ කියත්. දොස් පහළ කෙරෙත්:
3. ‘මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ මහේච්ඡයෝ ය, අසන්තුෂ්ටයෝ ය. මොවුනට දැහැමි නිමන්ත්‍රණයකුදු කරන්නට පහසු නො වෙයි. කෙසේ නම් සිටුපුත්හු විසින් දැහැමි නිමන්ත්‍රණය කරනු ලබන කල්හි සාටකය ගත්තාහු දැ” යි, භික්‍ෂුහු ඒ මිනිසුන් අවඥා කරණුවන් අයුණු කියනුවන් දොස් පහළ කරණුවන්ගේ බස් ඇසූහ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු ‘කෙසේ’ නම් ආයුෂ්මත් උපනන්‍දශාක්‍යපුත්‍ර තෙම සිටුපුතක්හු සිවුරක් විනැවී දැ’ යි. අවඥා කෙරෙත්, අයුණු කියත්, දොස් පහළ කෙරෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ: ‘සැබෑ ද උපනන්‍දය, තෝ සිටුපුතක්හු සිවුරක් විනවුයෙහි දැ’ යි අසා වදාළහ. “සැබව භාග්‍යවතුන් වහන්ස, යි හේ කී ය. “උපනන්‍දය, තාගේ නෑයෙක් ද නොනෑයෙක්දැ?” යි භගවත් ඇසූහ. “නොනෑයෙක භාග්‍යවතුන් වහන්සැ’ යි හේ කී ය. “තුච්ඡපුරුෂය, නොනෑයෙක් නොනෑයෙකුහට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ විද්‍යාමානය හෝ අවිද්‍යාමානය හෝ නො දනියි. එහි ලා තුච්ඡපුරුෂය, තෝ නොනෑ සිටුපුතක්හු සිවුරක් විනවූයෙහි ය. තුච්ඡපුරුෂය, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:”
“යම් මහණෙක් තෙම නොනෑ ගැහැවියක්හු හෝ ගැහැවිනියක හෝ සිවුරක් විනවා නම් නිසැඟි පචිති වේ.”
මෙසේත් මේ ශික්‍ෂාපදය භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට පණවන ලද්දේ වේ.
[මුල්පැණවීමයි.]
4. තව ද එසමයෙහි බොහෝ භික්‍ෂූහු සාකේතනුවරින් සැවැත්නුවර බලා අදන්මගට පිළිපන්නාහු වෙති. අතරමඟ සොරු නික්ම ඒ භික්‍ෂූන් (පාසිවුරු) පැහැර ගත්හ. එසඳ ඒ භික්‍ෂූහු ‘භාග්‍යවතුන් විසින් නොනෑ ගැහැවියක්හු හෝ ගෙහඹුවක් හෝ සිවුරක් විනවන්නට පිළිකෙව් කරණ ලදැ’ යි කුකුස් කරන්නාහු නො විනවූහ. ලිහිණි වණින් ම සැවතට ගොස් භික්‍ෂූන් වඳිති. ඒ භික්‍ෂූහු “ඇවැත්නි, මේ ආජීවකයෝ සුන්‍දරයහ. මොහු භික්‍ෂූන් වඳිති” යි මෙසේ කීහ. “ඇවැත්නි, අපි ආජීවක නො වම්හ. අපි මහණම්හු” යි. මෙසේ කීහ. භික්‍ෂූහු ආයුෂ්මත් උපාලිහට “එසේ වී නම් ඇවැත්නි, උපාලි මොවුන් විමසව” යි කීහ. ඒ භික්‍ෂුහු අනුයෝග කරනු ලබන්නාහු එ පවත් දැන්වූහ.