5. 1. 5.
චීවරප්රතිග්රහණශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එසමයෙහි උපුල්වන් මෙහෙණ සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති උපුල්වන් මෙහෙණ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ පිඬු පිණිස සැවැතට පිවිසියා ය. සැවැතෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිණ්ඩපාතයෙන් නැවැතුනී අන්ධවනය කරා එළඹියා ය. එළඹ දිවාවිහාරය පිණිස අන්ධවනයට පිවිස එක්තරා රුක්මුලෙකැ දිවාවිහාරයෙහි හුන්නී ය. එසමයෙහි කළ සොරකම් ඇති සොරු දෙනක මරා මස් ගෙණ අන්ධවනයට පිවිසියහ. ඉක්බිති සොරදෙටු තෙම එක්තරා රුක්මුලෙක දිවාවිහාරයෙහි හුන් උපුල්වන් මෙහෙණ දිටි. දැක ඉදින් මාගේ දරු-මල්හු මේ මෙහෙණ දක්නාහු නම් වෙහෙසන්නාහ’ යි අන් මගෙකින් ගියේ ය. ඉක්බිති ඒ සොරදෙටු තෙම මස් පැසුනු කල්හි සොඳුරුමස් ගෙණ පත්පළාවක් බැඳ උපුල්වන් මෙහෙණට නුදුරු තැන්හි රුකෙක එල්වා “මහණ වේව යි බමුණු වේවයි යමෙක් දකී නම් දෙන ලද මැ” ය ‘ගෙණ යේව’ යි කියා ගියේ ය. උපුල්වන් මෙහෙණ සමාධියෙන් නැඟී මෙතෙපුල් කියන ඒ සොරදෙටුවාගේ බස් ඇසූ ය. ඉක්බිති උපුල්වන් මෙහෙණ ඒ මස් ගෙණ මෙහෙණවරට ගියා ය. ඉක්බිති උපුල්වන් මෙහෙණ ඒ රාත්රිහුගේ ඇවෑමෙන් ඒ මස් පිළියෙල කොට උතුරුසඟසිවුරෙහි පොදි බැඳ අහසට පැනනැඟී වේළුවනවිහාරයෙහි බැස සිටියාය.
2. එසමයෙහි භාග්යවතුන් වහන්සේ පිඬු පිණිස ගම්වැදුනාහු වෙති. ආයුෂ්මත් උදායී තෙරණුවෝ වෙහෙර රක්නාහු නැවැතුනාහු වෙති. ඉක්බිති උපුල්වන් මෙහෙණ උදායි තෙරුන් කරා එළඹියා ය. එළඹ ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙය කිවූ ය: ‘වහන්ස භාග්යවතුන් වහන්සේ කොහි දැ’ යි. “නැගණියනි, භාග්යවතුන් වහන්සේ පිඬු පිණිස ගමට පිවිසියහ’ යි. ‘වහන්ස, මේ මස් භාග්යවතුන් වහන්සේට දෙව’ යි. “නැගණියනි, තොප විසින් භාග්යවතුන් වහන්සේ මසින් සතපන ලදහ. ඉදින් තෙපි මට අතුරුවසාසිවුරු දෙන්නහු නම් මෙසේ මම ද අතුරුවසාසිවුරින් සතප්නා ලද්දෙම් වන්නෙමි’ යි. “වහන්ස, අපි නම් මාගම්වූවමෝ ප්රත්යය දුකසේ ලබන්නම්හ. මෙ ද මාගේ පැසිම් පස්වැනි සිවුර ය. (එහෙයින්) මම නො දෙමැ’ යි. ‘යම්සේ නැගණියනි, පුරුෂයෙක් ඇතු දී පොරොද්දෙහි ඇලෙන්නේ ද, එපරිද්දෙන් ම නැගණියනි, තෙපි භාග්යවතුන් වහන්සේට මස් දී මාකෙරෙහිලා අතුරුවසාසිවුරෙහි ඇලෙන්නහු” යයි. ඉක්බිති උපුල්වන් මෙහෙණ ආයුෂ්මත් උදායි තෙරුන් විසින් දැඩි ව පෙළනු ලබන්නී අතුරුවසාසිවුර දී මෙහෙණවරට ගියා ය. භික්ෂුණීහු උපුල්වන් මෙහෙණගේ පාසිවුරු පිළිගන්නාහු උපුල්වන් මෙහෙණට මෙපවත් කීහ. “ආර්ය්යාවෙනි, තොපගේ අතුරුවසාසිවුර කොහි දැ’ යි. උපුල්වන් මෙහෙණ භික්ෂුණීන්ට එපවත් දැන්වූය. භික්ෂුණීහු අවමන් කෙරෙති අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් උදායී හිමි මෙහෙණගේ සිවුර පිළිගත්තේ ද; මාගම (ප්රත්යය) දුකසේ ලබන්නී’ යයි ඉක්බිති ඒ භික්ෂුණීහු මෙපවත් දැන්වූහ.
3. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවඥා කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් ආයුෂ්මත් උදායි තෙර මෙහෙණකගේ සිවුරක් පිළිගත්තේ දැ’ යි. ඉක්බිති ඒ භික්ෂුහු භාග්යවතුන් වහන්සේට මෙපවත් දැන්වූ හ. “සැබෑද උදායිය, තෝ මෙහෙණකගේ සිවුරක් පිළිගත්තෙහි ල’ යි. “සැබව භාග්යවතුන් වහන්ස’, ‘උදායිය, තාගේ නෑ මෙහෙණක් ද නොනෑ මෙහෙණක් දැ’ යි. ‘නො නෑ මෙහෙණක භාග්යවතුන් වහන්සැ’ යි. “තුච්ඡපුරුෂය, නොනෑයෙක් නොනෑ එකකට සුදුස්ස හෝ නුසුදුස්ස හෝ විද්යාමානය හෝ අවිද්යාමානය හෝ නොදනියි. එහිලා තුච්ඡපුරුෂය, තෝ නොනෑ මෙහෙණකගේ අතින් සිවුරක් පිළිගත්තෙහි ය. තුච්ඡපුරුෂය, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:”
“යම් මහණෙක් නොනෑ මෙහෙණකගේ අතින් සිවුරක් පිළිගන්නේ නම් නිසැඟි පචිති වේ.”
මෙසේත් මේ ශික්ෂාපදය භාග්යවතුන් විසින් භික්ෂූන්ට පණවන ලද්දේ වේ.
[මුල්පැණවීමයි.]
4. තවද එ කල්හි භික්ෂුහු කුකුස් කරන්නාහු භික්ෂුණීන්ගේ පිරුළුසිවුරු නොපිළිගනිති. භික්ෂුණීහු අවඥා කෙරෙත් අයුණු කියත් දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් හිමිහු අපගේ පිරුළුසිවුරු නො පිළිගණිත් දැ’ යි. භික්ෂුහු ඒ භික්ෂූණින් අවඥා කරන්නන් අයුණු කියන්නන් දොස් පහළ කරන්නන්ගේ බස් ඇසූහ. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා වදාරා භික්ෂූන් ඇමතූ සේක: ‘මහණෙනි, පස් දෙනකුන්ගේ පිරුළුසිවුරු පිළිගන්නට අනුදනිමි: භික්ෂූහුගේ ය, භික්ෂුණියගේ ය, ශික්ෂාමානාවගේ ය, සාමණේරයාගේ ය, සාමණේරියගේ ය. මහණෙනි, මෙ පස් දෙනාගේ පිරුළුසිවුරු පිළිගන්නට අනුදනිමි. තවද මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:’
“යම් මහණෙක් නොනෑ මෙහෙණක අතින් පිරුළුසිවුරු තබා සිවුරක් පිළිගන්නේ නම් නිසැඟිපවති වේ.”
[දෙවනපැණවීමයි.]
5. යො පන යනු: යමෙක්, යම්බඳුයෙක් ...
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්ත්ථයෙහි ‘භික්ඛු’ ය යි අදහස් කරන ලද්දේ ය.
අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත්මුත්තා යුගය තෙක් නොසැබැඳියෝ.
භික්ඛුනී නම්: උභතෝ සඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා.
චීවර නම්: ස සිවුරු අතුරින් විකපුන් පොහෝනා සිවුරු පැසුළු කොට ඇති එක්තරා සිවුරෙකි.
අඤ්ඤත්ර පාරිවට්ටකා යනු: පිරුළු තබා පිළිගණියි.