5. 1. 4.
පුරාණචීවරශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙරුන්ගේ පුරාණදුතියිකාව මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. ඕ තොමෝ නිරතුරු ආයුෂ්මත් උදායි තෙරුන් වෙත පැමිණෙයි. ආයුෂ්මත් උදායි තෙර ද නිරතුරු ඒ මෙහෙණ වෙත යයි. එසමයෙහි ආයුෂ්මත් උදායි තෙර ඒ මෙහෙණ වෙත බත්කිස කෙරෙයි. එකල ආයුෂ්මත් උදායි තෙර පෙරෙවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ ඒ මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ ඒ මෙහෙණ පෙරටුයෙහි අඞ්ගජාතය විවර කොට ආසනයෙහි හුන්නේ ය. ඒ මෙහෙණ ද ආයුෂ්මත් උදායී තෙරුන් ඉදිරියෙහි අඞ්ගජාතය විවර කොට හිඳගතු. එකල්හි ආයුෂ්මත් උදායි තෙර හටගත් රාග ඇත්තේ ඒ මෙහෙණගේ අඞ්ගජාතය මෙනෙහි කෙළේ ය. ඔහුට අශූචි මිදින.
2. ඉක්බිති ආයුෂ්මත් උදායි තෙර ඒ මෙහෙණට මෙසේ කී ය. ‘යා නැඟනියෙනි, දිය ගෙණෙව. අන්තරවාසකය සෝදමි’ යි. ‘දෙව හිමියනි, මම් මැ සෝදමි’ යි. ඒ අශූචි එක්දෙසක් මුවින් ගතු. එක්දෙසක් අඞ්ගජාතයෙහි බැහූ. ඕ තොමෝ එයින් ගැබ් ගතු. භික්ෂුණීහු මෙසේ කීහු: “මේ මෙහෙණ බඹසර නැත්තී ගැබිලියකැ” යි. “ආර්ය්යාවෙනි, මම් බඹසර නැතියක් නො වෙමි” යි. භික්ෂුණීන්ට මෙ පවත් දැන් වූ. භික්ෂුණීහු අවඥා කෙරෙති. අයුණු කියති. දොස් පහළ කෙරෙත්: “කෙසේ නම් උදායී හිමිහු මෙහෙණක ලවා පොරණ සිවුරක් දෙවවූහු දැ” යි. ඉක්බිති ඒ භික්ෂුණීහු භික්ෂූන්ට මෙපවත් දැන්වූ හ. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවඥා කෙරෙති, අයුණු කියති, දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙර මෙහෙණක ලවා පොරණසිවුරක් දෙවවී දැ’ යි. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ. ‘සැබෑද උදායීය, තෝ මෙහෙණක ලවා පොරණසිවුරක් දෙවවිහි ලැ’ යි. ‘සැබව භාග්යවතුන් වහන්ස’, උදායිය, තට ‘නෑ එකක් ද නො නෑ එකක් දැ’ යි. ‘නො නෑ එකක භාග්යවතුන් වහන්සැ’ යි. ‘තුච්ඡ පුරුෂය, නො නෑයෙක් නො නෑ එකක්හට සුදුස්සක් හෝ නො සුදුස්සක් හෝ ප්රසාදයට වැටෙන්නක් හෝ අප්රසාදයට වැටෙන්නක් හෝ නො දනියි. එහි ලා තුච්ඡපුරුෂය, තෝ නො නෑ මෙහෙණක ලවා පොරණසිවුර දෙවවිහි. තුච්ඡපුරුෂය, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:
“යම් මහණෙක් තෙම නොනෑ මෙහෙණක ලවා පොරණසිවුරක් දොවවා නම් හෝ රඳවා නම් හෝ කොළවා නම් හෝ නිසැගිපචිති වේ” යයි.
3. යො පන යනු: යමෙක් යම් බඳුයෙක් ...
භික්ඛු යනු: ... මේ තෙමේ මේ අර්ත්ථයෙහි ‘භික්ඛු’ යයි අදහස් කරණ ලද්දේ ය.
අඤ්ඤාතිකා නම්: මවුපසින් හෝ පියපසින් හෝ සත් වැනි මුත්තාවුන් තෙක් අසම්බද්ධයෝ යි.
භික්ඛුනී නම්: උභතෝසඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා.
පුරාණචීවර නම්: වරක් හඳනා ලද්දේ ද වරක් පොරෝනා ලද්දේ ද වෙයි.
‘දොවවයි’ අණවා නම් දුකුළාඇවැත් වෙයි, දෝනා ලද්දේ නිසැගි වෙයි. ‘රඳවයි’ අණවා නම් දුකුළාඇවැත් වෙයි. රඳනා ලද්දේ නිසැගි වෙයි. ‘කොළවයි’ අණවා නම් දුකුළාඇවැත් වෙයි. වරක් අත්පහරක් හෝ මුගුරු පහරක් හෝ දුන් කල්හි නිසැගි වෙයි. සඟනට හෝ ගණයට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය.
4. තවද මහණෙනි මෙසේත් නිසැජිය යුතු ය. “වහන්ස, මාගේ ‘මේ පොරණ සිවුර නොනෑ මෙහෙණක ලවා දොවවන ලද්දේ නිසැගි විය. මම් මෙය සඟනට නිසදමි’ යි ... දෙන්නේ යයි ... දෙන්නාහු යයි ... ආයුෂ්මත්හට දෙමි” යි ...