5. 1. 3.
තෘතීයකඨිනශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වාසය කරණ සේක. තවද එසමයෙහි එක්තරා මහණක්හට අයල්සිවුරක් උපන්නේ වෙයි. ඔහුට ඒ සිවුර කරණු ලබන්නේ නො පොහෝනේ ය. ඉක්බිති ඒ මහණ තෙම ඒ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කෙරෙයි. භාග්‍යවතුන් වහන්සේ සේනාසනචාරිකායෙහි වඩනාහු ඒ මහණ ඒ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කරණුවහු දුටහ. දැක ඒ මහණ යම් තැනෙක්හි ද එතැන්හි එළඹියහ. එළඹ ඒ මහණහට මෙය වදාළහ: ‘මහණ, තෝ කුමට මේ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කෙරෙහි දැ’ යි. ‘වහන්ස, මේ මට උපන් අයල්සිවුර කරණු ලබන්නේ නොපොහොනේ වෙයි. එහෙයින් මම් මේ සිවුර ඔසවා පුනපුනා විමර්දනය කෙරෙමි’ යි. ‘මහණ, තට සිවුරු ලැබීමේ ආශායෙක් ඇත් දැ?’ යි. ‘ඇත භාග්‍යවතුන් වහන්සැ’ යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: ‘මහණෙනි, අයල්සිවුරක් පිළිගෙන සිවුරු ලැබීමේ ආශායෙන් තබන්නට අනුදනිමි’ යි.
2. තවද එසමයෙහි භික්‍ෂුහු භාග්‍යවතුන් විසින් ‘අයල්සිවුරක් පිළිගෙණ සිවුරු ලැබීමේ ආශායෙන් තබන්නට අනුදන්නා ලදැ’ යි අයල්සිවුරු පිළිගෙණ අතිරේක මාසයක් කල් තබති. ඒ සිවුරු සිවුරුවසැ බදබැඬි ව සිටිති. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සේනාසනචාරිකායෙහි වඩනාහු ඒ චීවරයන් සිවුරුවසැ බදබැඬි වි සිටියන් දුටහ. දැක භික්‍ෂූන් ඇමතූහ: ‘ඇවැත්නි, කවරක්හුගේ මේ සිවුරු සිවුරුවසැ බදබැඬි ව සිටිත් දැ’ යි. ‘ඇවැත්නි, අපගේ නොකල් සිවුරු චීවරපච්චාසායෙන් තබන ලද්දාහු ය’ යි. ඇවැත්නි, ‘කිපමණ කල් මේ සිවුරු තබන ලද්දාහු දැ’ යි. ‘ඇවැත්නි, අයිරා මසෙකැ’ යි. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අවඥා කෙරෙති, අයුණු කියති දොස් පහළ කෙරෙත්: ‘කෙසේ නම් මහණහු අයල්සිවුරු පිළිගෙණ අයිරා මසක් තැබූ දැ’ යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට මෙපවත් දැන්වූ හ. ... “සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු අයල්සිවුරු පිළිගෙන අයිරා මසක් තබත් දැ” යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’ භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ: ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡ පුරුෂයෝ අයල්සිවුරු පිළිගෙණ අයිරා මසක් තැබූහු ද, මහණෙනි, තෙල නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:’
“භික්‍ෂූහුගේ සිවුර කොට නිමි කල්හි කෙළින් උදුළ කල්හි භික්‍ෂූනට මැ වැළිත් අයල්සිවුරෙක් උපදනේ නම් කැමැති වන්නා වූ භික්‍ෂූහු විසින් පිළිගත යුතු ය. පිළිගෙන වහාම කරවිය යුතු ය. ඉදින් පිරිපුන් බව නො වන්නේ නම් ඒ භික්‍ෂූහු විසින් ඌනපූරණය පිණිස සිවුරු ලැබීමේ ආශාවක් ඇති කල්හි ඒ සිවුර මසක් පරම කොට ඇති කලක් තැබිය යුතු ය. චීවරාසාවක් ඇති කල්හිදු එයින් මත්තෙහි තබා නම් නිසැඟි පචිති වේ” යි.
3. නිට්ඨතචීවරස්මිං යනු: භික්‍ෂූහුගේ සිවුර කරණ ලද හෝ වෙයි. නැසුනේ හෝ වැනැසුනේ හෝ දැවුනේ හෝ චීවරාසාව සිඳුනේ හෝ වෙයි.
උබ්හතස්මිං කඨිනෙ යනු: අට වැදෑරුම් මාතෘකාවන් අතුරින් එක්තරා මාතෘකායෙකින් උදුරන ලද්දේ වෙයි. සඞ්ඝයා විසින් හෝ අතරැ උදුරන ලද වෙයි.
අකාලචීවර නම්: කෙළින් නොඅතුළ කල්හි එකොළොස් මස්හි උපන්නේ ය. කෙළින් අතුළ කල්හි සත්මස් මුළුල්ලෙහි උපන්නේ ය. කල්හිදු නොකල්සිවුරු යි උදෙසා දෙන ලද්දේ ය. තෙල අයල් සිවුරු නම.
උප්පජ්ජෙය්‍ය යනු: සඞ්ඝයා කෙරෙන් හෝ ගණයා කෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිත්‍රයන් කෙරෙන් හෝ පසුල් ව හෝ තමාගේ ධනයෙන් හෝ උපදනේ ය.
ආකඞ්ඛමානෙන යනු: කැමැත්තහු විසින් පිළිගත යුතු ය.
පටිග්ගහෙත්‍වා ඛීප්පමෙච කාරෙතබ්බං යනු: දස දවසෙකින් කරවිය යුතු ය.
නො චස්ස පාරිපූරී යනු: කරණු ලබන්නේ නො පොහෝනේ ය.
මාසපරමං තෙන භික්ඛුනා තං චිවරං නික්ඛිපීතබ්බං යනු: මසක් කල් පරම කොට තැබිය යුතු ය.
ඌනස්ස පාරිපූරියා යනු: උනු වූවහුගේ සම්පූර්‍ණ බව පිණිස ය.
සතියා පච්චාසාය යනු: සඞ්ඝයා කෙරෙන් හෝ ගණයා කෙරෙන් හෝ නෑයන් කෙරෙන් හෝ මිත්‍රයන් කෙරෙන් හෝ පසුල් ව හෝ තමාගේ ධනයෙන් හෝ සිවුරු ලැබීමේ ආශායෙක් වෙයි.
තතො චෙ උත්තරිං නික්ඛිපෙය්‍ය සතියා’පි පච්චාසාය යනු: එදවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු ය. දෙවන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු ය. තුන්වන දවස උපන් ... සතර වන දවස උපන් ... පස්වන දවස උපන් ... සවන දවස උපන් ... සත්වන දවස උපන් ... අට වන දවස උපන් ... නව වන දවස උපන් ... දස වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු. එකොළොස් වන දවස උපන් ... දොළොස් වන දවස උපන් ... තෙළෙස් වන දවස උපන් ... තුදුස් වන දවස උපන් ... පසළොස් වන දවස උපන් ... සොළොස් වන දවස උපන් ... සතළොස් වන දවස උපන් ... අටළොස් වන දවස උපන් ... එකුන්විසි වන දවස උපන් ... විසි වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් දස දවසින් කරවිය යුතු. එක්විසි වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් නව දවසින් කරවිය යුතු ය. දෙවිසි වන දවස උපන් ... තෙවිසි වන දවස උපන් ... සූවිසි වන දවස උපන් ... පස්විසි වන දවස උපන් ... සවිසි වන දවස උපන් ... සත්විසි වන දවස උපන් ... අටවිසි වන දවස උපන් ... එකුන්තිස් වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් එක්දවසින් කරවිය යුතු. තිස් වන දවස උපන් මූලචීවරය ඇති කල්හි පච්චාසාචීවරය උපදී නම් එදවස මැ ඉටිය යුතු ය. විකැපිය යුතු ය. විසැඳිය යුතු ය.