5. 1. 2.
ද්විතීයකඨිනශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වාසය කරන සේක. තවද එසමයෙහි භික්‍ෂූහු භික්‍ෂූන්ගේ අත්පසැ සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් යුතු ව ජනපදචාරිකායේහි නික්මෙති. ඒ සිවුරු බොහෝ කල් තබන ලද්දාහු හටගත් කැලැල් ඇත්තාහු වෙති. භික්‍ෂූහු ඒ සිවුරු (අවුවෙහි) තවති. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සේනාසන චාරිකායෙහි ඇවිදිනාහු ඒ සිවුරු තවන ඒ භික්‍ෂූන් දුටහ. දැක ඒ භික්‍ෂූන් කරා එළඹ ඒ භික්‍ෂූන්ට මෙසේ කීහ: ‘ඇවැත්නි, කැලැල් හටගත් මේ සිවුරු කවරක්හුගේ දැ’ යි. එකල්හි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අනඳ තෙරුන්ට එපවත් දැන්වූහ. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ අවමන් කෙරෙති, නුගුණ කියති, දොස් පහළ කෙරෙත්. ‘කෙසේ නම් භික්‍ෂූහු භික්‍ෂූන්ගේ අත්පසැ සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් ජනපදචාරිකායේහි නික්මුණාහු දැ’ යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. ‘සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු භික්‍ෂූන්ගේ අත්පසැ සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් ජනපද චාරිකායෙහි නික්මෙත් දැ’ යි. ‘සැබව භාග්‍යවතුන් වහන්ස’ භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ. ‘කෙසේ නම් මහණෙනි, ඒ තුච්ඡ පුරුෂයෝ භික්‍ෂූන් අත සඟළසිවුර තබා හඳනා පොරෝනා සිවුරින් ජනපද චාරිකායෙහි නික්මුණාහු ද, මහණෙනි, තෙල නොපහනුන්ගේ පැහැදීමට හෝ නො වෙයි ... තවද මහණෙනි, මේ ශික්‍ෂාපදය මෙසේ උදෙසවු:
“භික්‍ෂූහු විසින් කොට නිම වූ සිවුරු ඇති කල්හි කෙළින් උදුළ කල්හි ඉදින් මහණ තෙම එක් රැයකුදු තුන් සිවුරින් වෙන් ව වෙසේ නම් නිසැඟි පචිතිවේ ය” යි.
භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වේ.
[මුල් පැණවීමයි]
2. එසමයෙහි කොසඹෑනුවර එක්තරා මහණෙක් ගිලන් වූයේ වෙයි. නෑයෝ ඒ භික්‍ෂූහුගේ සමීපයෙහි දූතයකු එවූහ. ‘වහන්සේ (මෙහි) එත්වා අපි උවටැන් කරම්හ’යි. භික්‍ෂූහු ද මෙසේ කීහු: ‘යා ඇවැත්නි, නෑයෝ තොපට උවටැන් කරන්නාහ’ යි. හේ මෙසේ කී ය: ‘ඇවැත්නි, භාග්‍යවතුන් විසින් ‘තුන් සිවුරින් නොවෙන් ව විසියයුතු ය’ යි සිකපද පණවන ලද: ‘මම ද ගිලන්මි. තුන්සිවුරු ගෙණ නික්ම යන්නට නො පොහොසත්මි. මම නො යෙමි’ යි. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ:
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි ලා දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමැතූ සේක: මහණෙනි, ගිලන් මහණහට ‘තිචීවර අවිප්පවාස සම්මුතිය’ දෙන්නට අනුදනිමි. මහණෙනි, මෙසේත් දියයුතු ය. ඒ ගිලන් මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය: “වහන්ස, මම් ගිලන්මි. තුන් සිවුරු ගෙණ යන්නට නො පොහොසත්මි. වහන්ස, ඒ මම් සඞ්ඝයා තිචීවර අවිප්පවාස සම්මුතිය අයදිමි” යි දෙවනවට ද යැදිය යුත්තේ ය. තෙවනවට ද යැදිය යුත්තේ ය. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙම දැන්විය යුත්තේ ය:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් වූයේ තුන් සිවුරු ගෙණ නික්ම යන්නට නො හැකි වෙයි. හෙතෙම සඞ්ඝයා තිචීවර අවිප්පවාසසම්මුතිය අයදියි. ඉදින් සඞ්ඝයාට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ‘තිචීවර අවිප්පවාස සම්මුතිය දෙන්නේ ය’ තෙල ඤත්ති’ යයි.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මේ මෙනම් මහණ තෙම ගිලන් වූයේ තුන් සිවුරු ගෙණ නික්ම යන්නට නො හැකි වෙයි. හේ සඞ්ඝයා ‘තිචීවර අවිප්පවාසසම්මුතිය අයදියි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට ‘තිචීවර අවිප්පවාසසම්මුතිය’ දෙයි. මෙ නම් මහණහට තිචීවර අවිප්පවාසසම්මුතිය දීම යම් ආයුෂ්මතක්හට රිසි වේ නම් හේ තුෂ්ණිම්භූත වන්නේ ය. යමක්හට නොරිසි වේ නම් හේ කියන්නේ ය.
සඞ්ඝයා විසින් මෙනම් මහණහට තිචීවර අවිප්පවාසම්මුතිය දෙන ලද්දී ය. සඞ්ඝායට රුචි වෙයි. එහෙයින් මේ තුෂ්ණිම්භාවය යි. මෙසේ මේ තුෂ්ණිම්භාවය ධරමි” යි.
තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“භික්‍ෂූහුගේ සිවුර කොට නිමි කල්හි කෙළින්උදුළ කල්හි ඉදින් මහණ තෙම භික්‍ෂූසම්මුතිය නැති ව එක් රැයකුදු තුන්සිවුරින් වෙන් ව වෙසේ නම් නිසැඟි පචිතිවේ” යයි.
[දෙවන පැණවීමයි.]
4. නිට්ඨතචිවරස්මිං යනු භික්‍ෂූහුගේ සිවුර කරණ ලද හෝ වෙයි, නටුයේ හෝ වැනැසුනේ හෝ දැවුනේ හෝ සිවුරු ලැබීමේ ආශාව සිඳුනේ හෝ වෙයි.