5. 1. 1.
ප්‍රථමකඨිනශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු විසල්පුර ගෝතමක චෛත්‍යස්ථානයෙහි වැඩ වෙසෙති. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරු අනුදන්නා ලද වෙයි. සවග මහණහු “භාග්‍යවතුන් වහන්සේ විසින් තුන් සිවුරු අනුදන්නා ලදැ’යි අනිත් ම තුන් සිවුරකින් ගම් වදිති, අනිත් ම තුන් සිවුරකින් අරමෙහි හිඳිත්, අනිත් ම තුන් සිවුරකින් නහන තොටට බසිත්. යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් නම් ඔහු අවඥා කෙරෙති, අගුණ කියති, දොස් පහළ කෙරෙත්: කිසෙයින් නම් සවග මහණහු අයිරා සිවුරු ධරත් දැ” යි. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ට මේ පවත් සැළ කළහ ... “සැබෑද මහණෙනි, තෙපි අයිරා සිවුරු ධරවු ලැ? යි. භගවත්හු පුළුවුත්හ. සැබැව භාග්‍යවතුන් වහන්ස” යි ඔහු කීහ. භාග්‍යවත් බුදුහු ගැරහූහ: කිසෙයින් නම් තුච්ඡ පුරුෂයෙනි, තෙපි අයිරා සිවුරු ධරවු ද? තුච්ඡ පුරුෂයෙනි, තෙල නො පහනුන්ගේ පහන් බව පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“යම් මහණෙක් තෙම අයිරා සිවුරක් ධරා නම් නිසැඟිපචිති වේ”ය යි.
භාග්‍යවතුන් වහන්සේ විසින් භික්‍ෂූන්ට මෙසේත් මේ ශික්‍ෂාපදය පණවන ලද්දේ වේ.
[මුල් පැණවීමයි.]
2. එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට අතිරේක චීවරයෙක් උපන්නේ වෙයි. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේත් ඒ සිවුර ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තාහ. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහ්නසේත් සාකේතයෙහි වාසය කෙරෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරුනට මේ සිත විය. “භාග්‍යවතුන් විසින් අයිරිත් සිවුරක් නො දැරියයුතු ය යි සිකපද පනවන ලදි. මෙ ද මට උපන් අයිරිත් සිවුරෙක, මම ද මේ සිවුර ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට දෙනු කැමැත්තෙමි. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේත් සාකේතයෙහි වාසය කෙරෙති. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. “ආනන්‍දය, කිපමණ කලෙකින් ශාරිපුත්‍රයෝ එන්නාහු දැ?” යි පුළුවුත්හ. “භාග්‍යවතුන් වහන්ස, නව වැනි හෝ දස වැනි හෝ දවසැ” යි අනඳ තෙරණුවෝ කීහ. එකල්හි භාග්‍යවත්හු මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූහ: “මහණෙනි, දස දවසක් පරම කොට අයිරිත් සිවුරක් දරන්නට අනුදනිමි. තවද මහණෙනි, මෙසේ මේ ශික්‍ෂාපදය උදෙසවු:
“භික්‍ෂූහු විසින් කොට නිම වූ සිවුරු ඇති කල්හි කෙළින් උදුළ කල්හි දස දවසක් පරම කොට අයිරිත් සිවුර ධැරිය යුතු ය. ඒ දසාහ පරම කාලය ඉක්මවන්නාහට නිසැඟිපචිති වේ.”
[දෙවනපැණවීමයි.]
3. නිට්ඨිත චිවරස්‍මිං යනු භික්‍ෂූහුගේ චීවරය කරණ ලද හෝ වෙයි නටුයේ හෝ වැනැසුනේ හෝ දැවුනේ හෝ සිවුරු ලැබීමේ ආශාව සිඳුනී හෝ වෙයි.
උබ්හතස්‍මිං කඨිනෙ යනු අට වැදෑරුම් මාතිකාවන් අතුරෙන් එක්තරා මාතිකායෙකින් උදුළේ වෙයි. සඞ්ඝයා විසින් හෝ අතරැ උදුරණ ලද වෙයි.
දසාහපරමං යනු දස දවසක් පරම කොට ඇති කාලය ධැරිය යුත්තේ ය.
අතිරේක චීවර නම්: නො ඉටන ලද නො විකපන ලද ය.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසිම් සිවුරෙක.
තං අතික්කාමයතෝ නිස්සග්ගියං හොති යනු එකොළොස් වැනි අරුණ නැගෙන සඳ නිසැගි වෙයි. සඞ්ඝයාට හෝ ගණයාට හෝ පුඟුලක්හට හෝ නිසැජිය යුතු ය. තව ද මහණෙනි, මෙසේ නිසැජිය යුතු ය: “ඒ මහණහු විසින් සඞ්ඝයා වෙත එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නේ ය. වහන්ස, මේ මාගේ සිවුර දස දවසක් ඉක්මෙන ලද නිසැඟි විය. මෙය මම් සඟනට නිසජමි” යි නිසජා ඇවැත් දෙසිය යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතු. නිසැදු සිවුර දිය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා. මෙනම් මහණහුගේ මේ සිවුර නිසැඟි විය. සඟනට නිසදන ලද. ඉදින් සඟනට පැමිණිකල් ඇත් නම් සඞ්ඝ තෙමේ මේ සිවුර මෙනම් මහණහට දෙන්නේ ය” යි.
4. ඒ මහණහු විසින් බොහෝ භික්‍ෂූන් කරා එළඹ උතුරුසඟ එකස් කොට මහලු භික්‍ෂූන් පා වැඳ උළුල්ලෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වන්නාහු ය. “වහන්ස, මාගේ මේ සිවුර දස දවස් ඉක්ම ගියේ නිසැඟි විය. මම් මේ සිවුර ආයුෂ්මත්හට නිසජමි” යි නිසදා ඇවැත් දෙසිය යුතු. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් ඇවැත් පිළිගත යුතු. නිසැදු සිවුර ඔහුට දිය යුතු:
“ආයුෂ්මත්නි, මා කියන්නක් අසත්වා. මෙනම් භික්‍ෂූහුගේ මේ සිවුර නිසැඟි විය. ආයුෂ්මත්නට නිසජන ලද. ඉදින් ආයුෂ්මත්නට පැමිණි කල් ඇත් නම් ආයුෂ්මත්හු මේ සිවුර මෙ නම් මහණහට දෙන්නාහු ය” යි.
5. ඒ මහණහු විසින් එක් මහණක්හු වෙත එළඹ උතුරුසඟ එකස් කොට උළුල්ලෙන් හිඳ මෙසේ කියයුතු වන්නේ ය. “ඇවැත්නි, මාගේ මේ සිවුර දස දවසක් ඉක්ම ගියේ නිසැඟි විය. මම් මේ සිවුර ආයුෂ්මත්හට නිසජමි” යි නිසදා ඇවැත් දෙසිය යුතු. ඒ මහණහු විසින් ඇවැත් පිළිගත යුතු. නිසැදු සිවුර “මේ සිවුර ආයුෂ්මත්හට දෙමි” යි දිය යුතු.