4. 2.
දෙවැනි අනියතශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. තවද එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරණුවෝ එකලා වූ මිනිස්මාගමක හා රහසිගත ව කර්‍මක්‍ෂම වූ පිළිසන් අස්නෙක එකලා ව නිෂද්‍යා කිරීම භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ’ යි එකලා වු මැ කුමරිය සමඟ එකලා ව රහසිගත ව කලට සුදුසු තෙපුල් බෙණෙමින් කලට සුදුසු දහම් බෙණෙමින් හුන්හ. දෙවන වට ද මෘගාරිමාතෘ විශාඛා තොමෝ කැඳවන ලදු ව ඒ කුලයට ගියා ය. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛා තොමෝ ආයුෂ්මත් උදායි තෙරණුවන් එකලා වූ එ මැ කුමරිය සමඟ එකලා ව රහසිගත ව හුන්නවුන් දුටු. දැක ආයුෂ්මත් උදායී තෙරණුවන්ට “යම් හෙයකින් හිමිහු එකලා වූ මාගමක හා සමඟ එකලා ව රහසිගත ව නිෂද්‍යා කෙරෙත් ද, වහන්ස, මේ අයෝග්‍ය ය. නුසුදුසු ය. වහන්ස, හිමිහු ඒ මෙවුන්දමින් අර්‍ත්‍ථ නැත්තාහු නමුදු වැළිත් නො පහන් මිනිස්සු හදහවාලිය නො හෙති” යි මෙබස් කිවු ය. ආයුෂ්මත් උදායී තෙරණුවෝ මෘගාරිමාතෘ විශාඛාව විසින් මෙසේත් කියනු ලබන්නාහු නො පිළිගත්හ.
2. ඉක්බිති මෘගාරිමාතෘ විශාඛාවෝ නික්ම ගොස් භික්‍ෂූන්ට මෙපවත් දැන්වූහ: යම් මහණ කෙනෙක් අල්පේච්ඡ වෙත් ද ඔහු අවමන් කෙරෙති. අයුණු කියති, දොස් පහළ කෙරෙත්. “කිසෙයින් නම් ආයුෂ්මත් උදායි තෙරණුවෝ එකලා වූ මාගමක හා සමඟ එකලා ව රහසිගත ව නිෂද්‍ය කළෝ දැ?” යි. ඉක්බිති ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් දැන්වූහ. “සැබවෙක් ද උදායි, තෝ එකලා වූ මිනිස් මාගමක හා සමඟ එකලා ව රහසිගත ව නිෂද්‍ය කෙළෙහි දැ” යි. භාග්‍යවත්හු පුළුවුත්හ. “සැබෑව භාග්‍යවතුන් වහන්ස”, භාග්‍යවත් බුදුහු ගර්‍හා කළහ. “කෙසේ නම් තුච්ඡපුරුෂය, තෝ එකලා වූ මිනිස් මාගමක හා සමග එකලාව රහසිගතව නිෂද්‍ය කෙළෙහි ද, තුච්ඡපුරුෂය, තෙල නො පහනුන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ...”. තවද මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු.
“අස්න ප්‍රතිච්ඡන්න නො වූයේ ම වේ ද කර්‍මෙයෝග්‍ය නො වේ ද? මිනිස්මාගමකට තුළුල්තෙපුලින් කියන්නට යෝග්‍ය වේ ද, යම් මහණෙක් එබඳු අස්නෙක එකලා වූ මාගමක හා සමඟ එකලාව රහසිගත ව නිෂද්‍ය කෙරේ නම් හැදැහියයුතු වචන ඇති උවැසියක් තොමෝ මේ මහණහු දැක සඟවෙසෙසින් හෝ පවිතියෙන් හෝ දෙ ඇවැත් අතුරින් එක්තරයෙකින් කියන්නී නම් මහණ තෙම නිෂද්‍යාව පිළින කරන්නේ සඟවෙසෙසින් හෝ පවිතියෙන් හෝ දෙ ඇවැත් අතුරින් එක්තරයෙකින් පිළියම් කරවිය යුත්තේ ය. හැදැහියයුතු වචන ඇති ඒ උවැසි තොමෝ යමෙකින් හෝ කියන්නී නම් ඒ මහණ තෙම ඒ ඇවැතින් හෝ පිළියම් කරවිය යුත්තේ ය. මේ ධර්‍මය ද අනියත වේ.”
3. නහෙව ඛො පන පටිච්‍ඡන්තං ආසනං හොති යනු: නො වැසුනේ වෙයි: බිත්තියෙන් හෝ කවුළුයෙන් හෝ කලාලින් හෝ කඩතුරාපවුරින් හෝ රුකින් හෝ ටැඹින් හෝ පැලලිපොතුයෙන් හෝ යම් කිසිවකින් වැසුනේ වෙයි.
නාලං කම්මනියං යනු: මෙවුන්දම් සෙවුනට නො හැකි වෙයි.
අලඤච ඛො හොති මාතුගාමං දුටුඨුල්ලාභි වාචාහි ඔහාසීතුං යනු: මිනිස්මාගමකට තුළුල්තෙපුලින් කියන්නට හැකි වෙයි.
යො පන යනු: යමෙක් යම් බඳුයෙක් ... භික්‍ඛු යනු ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි “භික්‍ඛු” යි අදහස් කරන ලදි.
තථාරූපෙ ආසනෙ යනු: එබඳු අස්නෙක.
මාතුගාම නම්: මිනිස්මාගම, යකින්නක් නො වෙයි. ප්‍රේතියක් නො වෙයි, තිරිසන්ගිය මාගමක් නො වෙයි.
නුවණැති වූවා සුබැසි දුබැසි තුළුල් නො තුළුල් තෙපුල් දැනගන්නට ප්‍රතිබල වූවා වෙයි.
සද්ධිං යනු: එකට
ඒකෝ ඒකාය යනු: මහණෙක් ද මාගමක් ද වෙයි.
රහෝ නම්: ඇසට රහස, කණට රහස. ඇසට රහස නම්: ඇස කසන කල්හි බැම හෝ නහන කල්හි හිස හෝ නහන කල්හි දක්නට නො හැකි වෙයි. කණට රහස නම්: පියවි බස් අසන්නට නො හැකි වෙයි.