(5) මහණෙනි, යමෙක් සිය සතන්හි නැති උතුරුමිනිස්දම් තමා කෙරෙහි ඇතැයි කියා ද, මේ මහණ තෙමේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලෝකයෙහි ද, මහණ බමුණන් සහිත වූ දෙමිනිසුන් සහිත වූ ප්‍රජාව කෙරෙහි ද, ප්‍රමුඛ වූ මහසොරා වෙයි. ඒ කවර හෙයින? මහණෙනි, සොර සිතින් රට්ඨපිණ්ඩය අනුභව කරණ ලද්දේ ය. එහෙයිනි.
යමෙක් අන් පරිද්දෙකින් සිටුනා තමා අන් අයුරකින් පවසන්නේ නම්, ඔහුගේ ඒ සොරකමින් සිවුපසය වැළඳීම ලිහිණිවැද්දා විසින් ලිහිණින් රවටා මරා කනු වැන්න.
ගෙලෙහි ලූ කසාවත් ඇති පවිටු ගතියෙන් යුත් නොහික්මුනු පුද්ගලයෝ බොහෝ වෙත්. ඒ පවිටෝ පවිටුකමින් නිරයට පැමිණෙත්.
ඉදින් නොහික්මුණු දුසිල් මහණ තෙමේ යම් හෙයකින් රටවැසියාගේ පිඬු වළඳන්නේ ද එයට වඩා ගිනිසිළුවක් වැනි රත් වූ යවටක් බුදින ලද්දේ උතුම් වේ.
13. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ වග්ගුමුදා ගංතෙරින් ආ මහණුන්ට නන් අයුරින් ගරහා දුබර බැව්හි ... මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් නොදන්නේ ආර්‍ය්‍යඥානදර්‍ශනයට යෝග්‍ය වූ උතුරුමිනිස්දම් තමා කෙරෙහි එළවා, ‘මෙසේ (තමා කෙරෙහි ඇතැයි) දනිමි. මෙසේ (තමා කෙරෙහි ඇතැයි) දකිමි’ යි කියන්නේ ද, ඉන් පසු කලෙක විචාරණු ලබන්නේ හෝ නොවිචාරණු ලබන්නේ හෝ පරිජි අවන්නේ පිරිසිදු බැව් කැමැත්තේ මෙසේ කියන්නේ ය: ‘ඇවැත්නි, මම නොදන්නෙම් මෙසේ දනිමියි කීමි. නොදක්නෙම් දකිමියි හිස් බොරු කීමි’යී. මේ මහණ ද පරිජි අවන්නේ සංවාස රහිත වේ.”
මෙසේත් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට මේ සිකපදය පණවන ලද්දේ වේ.
[මුල් පැණවීමයි.]
14. එසමයෙහි බොහෝ භික්‍ෂූහු නොදක්නා ලද්දෙහි දක්නා ලද්දේ යයි හැඟුම් ඇත්තාහු, නො පැමිණෙන ලද්දෙහි පැමිණෙන ලදැයි යන හැඟුම් ඇත්තාහු, නොපිළිවිදි දහම්හි පිළිවිදිනැයි හැඟුම් ඇත්තාහු, නොපසක් කළ දහම්හි පසක් කළැයි හැඟුම් ඇත්තාහු, අධිමානයෙන් යුක්ත ව අර්‍හත්‍වය ප්‍රකාශ කළහ. පසු කාලයෙහි ඔවුන්ගේ සිත රාගයට ද නැමෙයි. ද්වේෂයට ද සිත නැමෙයි. මෝහයට ද සිත නැමෙයි. ඔවුන්ට කුකුස් උපනි. “භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද පණවන ලදී. අපි දු නොදක්නා ලද්දෙහි දක්නා ලදැයි හැඟුම් ඇත්තමෝ නොපත් ගුණෙහි පැමිණෙන ලදැයි හැඟුම් ඇත්තමෝ නො පිළිවිදි ගුණෙහි පිළිවිදිනැයි හැඟුම් ඇත්තමෝ නො පසක් කළ දහම්හි පසක් කළැයි හැඟුම් ඇත්තමෝ අධිමානයෙන් යුක්ත ව අර්‍හත්ත්‍වය ප්‍රකාශ කළමු. කිම අපි පරිජි ඇවැත් අවන්නමෝ දැ?”යී. ඒ භික්‍ෂූහු ආයුෂ්මත් වූ අනඳ තෙරුන්ට මේ පවත් දැන්වූහ. ආයුෂ්මත් ආනන්‍දස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මේ පවත් සැළ කෙළේය.
15. ආනන්‍දය, තෙල භික්‍ෂූහු නොදක්නා ලද්දෙහි දක්නා ලද්දේයයි හැඟුම් ඇත්තාහු, නොපත්ගුණෙහි පැමිණෙන ලදැයි හැඟුම් ඇත්තාහු, නොපිළිවිදි ගුණෙහි පිළිවිදිනැයි හැඟුම් ඇත්තාහු, නොපසක් කළ දහම්හි පසක් කළැයි හැඟුම් ඇත්තාහු වෙත්. අධිමානයෙන් යුක්ත ව රහත් බව ප්‍රකාශ කෙරෙත්. ඔවුන්ගේ තෙල රහත් බැව් පළකිරීම ඇවැතට කරුණු නො වේ. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් නොදන්නේ ආර්‍ය්‍යඥානදර්‍ශනයට යෝග්‍ය වූ උතුරුමිනිස්දම් තමා කෙරෙහි එළවා ‘මෙසේ දනිමි, මෙසේ දකිමි’ යි අධිමානයෙන් තොර ව කියන්නේ ද, ඉන් පසුකාලයෙහි විචාරණු ලබන්නේ හෝ නොවිචාරණු ලබන්නේ හෝ පරිජි අවන්නේ පිරිසිදු බැව් කැමැත්තේ මෙසේ කියන්නේ ය: “ඇවැත්නි, මම ‘නො දන්නෙම් මෙසේ දනිමි’ යි කීමි. නො දක්නෙම් දකිමියි හිස් බොරු කීමි”යී මේ මහණ ද පැරදුනේ සංවාසරහිත වේ.”
[දෙවෙනි පැණවීමයි.]
16. යෝපන යනු යම් බඳුවූ යමෙක්: ...
භික්ඛු යනු ... ඥප්තිචතුර්‍ත්‍ථ කර්‍මයෙන් ... උපසපන් වූයේ ද, මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි භික්‍ෂුයයි අභිමතයි.
අනභිජානං යනු නැත්තා වූ, නො වූ, විද්‍යමාන නො වූ කුසල් දහම් තමා කෙරෙහි නොදන්නේ, නොදක්නේ මට කුසල් දහම් ඇත්තේය’යී.
උත්තරිමනුස්සධම්ම නම්: ධ්‍යාන, විමොක්ඛ, සමාධි, සමාපත්ති, ඤාණදස්සන, මග්ගභාවනා, ඵලසච්ඡිකිරියා, කිලේසප්පහාණ, සිත නීවරණයන්ගෙන් තොර බව, ශුන්‍යාගාරයෙහි අභිරතිය යි.
අත්තූපනායිකං යනු ඒ කුසල් දහම් හෝ තමා කෙරෙහි එළවයි. තමා හෝ ඒ කුසල් දහම්හි පමුණුවයි.
ඤාණං යනු ත්‍රිවිද්‍යා ය.
දස්සනං යනු යම් ඥානයක් වේ ද ඒ දර්‍ශනයයි. යම් දර්‍ශනයක් වේ ද එය ඥානයයි.
සමුදාචරෙය්‍ය යනු ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ ගැහැවියකුට හෝ පැවිද්දකුට හෝ සැළ කරන්නේ ය.