විනිශ්චිත කථාවස්තු
උද්දාන ගාථාවෝ:
මක්කටී වජ්ජිපුත්තක ගිහී නග්න තිත්ථිය වස්තුහු ය, දාරිකා උප්පලවණ්ණා වස්තු දෙක ය, අන්ය වූ බ්යඤ්ජන වස්තු දෙක ය, (15)
මාතු දුහිතු භගිනි ජායා වස්තුහු ය, මුදුපිට්ඨී ලම්බී වස්තු දෙක ය, වණවත්ථු දෙක ය, දාරුධීතලිකා වස්තුව සමග ආලේපචිත්ත වස්තු ය, (10)
සුන්දර වස්තුව සමග වස්තු පස හා සීවථික වස්තු පසය, අට්ඨිකවස්තුව ය, යක්ඛී නාගී පේතී පණ්ඩක උපහත ඡුපිත යන වස්තුහු ය, (17)
භද්දිය නුවර සුත්ත අරහ වස්තුව ය. අන්ය වූ සැවැතෙහි වස්තු සතර ය, විසල්පුර මල්ල වස්තු තුණ ය, සුපින වස්තුව ය, භාරුකච්ඡක වස්තුව ය. (10)
සුපබ්බා වස්තු නව ය, සද්ධා වස්තු නව ය, භික්ඛුණී වස්තුව ය, සික්ඛමානා සාමණෙරී වස්තු දෙක ය, වේසී පණ්ඩක ගිහි වස්තු තුණ ය, අඤ්ඤමඤ්ඤ බුඩ්ඪපබ්බජිත මිග වස්තු ය යන මොහු වෙත්. (27)
1. එ සමයෙහි එක්තරා මහණෙක් වැඳිරියක හා මෙවුන්දම් සෙවී ය. “භාග්යවතුන්වහන්සේ විසින් සික පද පනවන ලදී. කිම, මම පරිජි ඇවැත් අවන්නෙම් දෝ?” යි ඔහුට කුකුසෙක් විය. භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කෙළේ ය. ... “මහණ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (1)
2. එ සමයෙහි විසල්පුර වැසි බොහෝ වජ්ජිපුත්තක භික්ෂුහු සික පිළිකෙව් නො කොට දුබල බව් පළ නො කොට මෙවුන්දම් සෙවූහ. “භාග්යවතුන් වහන්සේ විසින් සික පදයක් පණවන ලදී. කිම, අපි පරිජි ඇවැත් අවන්නමෝ දැ?”යි ඔවුනට කුකුස් විය. භාග්යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළාහු ය. ... “මහණෙනි, තෙපි පරිජි ඇවැත් අවන්නහු ය”. (2)
3. එසමයෙහි එක්තරා මහණෙක් ‘මෙසේ මට ඇවැත් නොවන්නේය’යි ගිහි වෙසින් මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... “මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (3)
4. එ සමයෙහි එක්තරා මහණෙක් තෙමේ ‘මෙසේ මට ඇවැත් නොවන්නේය’යි නග්න ව සිවුර ඉවත ලා මෙවුන්දම් සෙවී ය. ඔහුට කුකුසෙක් විය. ... මහණ, තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය”. (4)
5. එසමයෙහි එක්තරා මහණෙක් තෙමේ මෙසේ මට ඇවැත් නොවන්නේය යි කුසතණ වැහැරි හැඳ ... නියඳ වැහැරි හැඳ ... පුවරු සටහනින් මසා කළ වැහැරි හැඳ ... කෙස්වලින් කළ කම්බිලි හැඳ ... සෙමර වලින් කළ කම්බිලි හැඳ ... මහමුහුණු පියාපතින් කළ වැහැරි හැඳ ... ලොම් කුර සහිත අඳුන් දිවිසම් හැඳ ... මෙවුන් දම් සෙවී ය. ඒ මහණහට කුකුස් විය. ... “මහණෙ තෝ පරිජි ඇවැත් අවන්නෙහි ය.” (5-11)
6. එසමයෙහි එක්තරා පිණ්ඩචාරික මහණෙක් පුටුවක හොත් දැරියක් දැක කායසංසග්ගරාගයෙන් යුක්තවූයේ මාපටැඟිල්ල අංගජාතයට ප්රවිෂ්ට කෙළේ ය. ඕ කලුරිය කළා ය. ඔහුට කුකුසෙක් විය. ...“මහණ පරිජි ඇවත් නො වේ. සඟ වෙසෙස් ඇවත් වේ.” (12)
7. එසමයෙහි එක්තරා මාණවකයෙක් උපුල්වන් මෙහෙණ කෙරෙහි පිළිබඳ සිත් ඇත්තේ වෙයි. ඉක්බිති ඒ මාණවක තෙමේ උපුල්වන් මෙහෙණ ගමට පිඬු පිණිස වන් කල්හි කිළියට වැද සැඟවී හුන. උපුල්වන් මෙහෙණ පසුබත් කාලයෙහි පිඬු සිඟා පෙරළා පැමිණියා පා සෝදා කිළියට පිවිස ඇඳෙහි හුන්නු ය. ඉක්බිති ඒ තරුණයා උපුල්වන් මෙහෙණ මැඩ ගෙණ දූෂණය කෙළේ ය. උපුල්වන් මෙහෙණ තෙල කරුණ භික්ෂුණීන්ට සැළ කළා ය. භික්ෂුණීහු භික්ෂුන්ට මේ කරුණ සැළ කළාහු ය. භික්ෂුහු භාග්යවතුන් වහන්සේට එය සැළ කළාහු ය. ... “මහණෙනි, නොඉවසන්නියට ඇවැත් නො වේ.” (13)
8. එසමයෙහි එක්තරා මහණකුට ස්ත්රීනිමිත්ත පහළ විය. භාග්යවතුන්වහන්සේට මෙය සැළ කළාහු ය. “මහණෙනි, එම උපාධ්යායයන් ද, ඒ උපසපුව ද, ඒ වස් ද, භික්ෂුණීන් සමග එකතු වන්නට ද භික්ෂූන් පිළිබඳ භික්ෂුණීන් හා සාධාරණ යම් ඇවැත් වේ නම් ඒ ඇවැත් භික්ෂුණීන් වෙත දෙසා නැගී සිටින්ට ද අනුදනිමි. භික්ෂූන් පිළිබඳ භික්ෂුණීන් හා අසාධාරණ යම් ඇවැත් කෙනෙක් වෙත් නම් ඒ ඇවැත්වලින් ඇවැත් නො වේ.” (14)
9. එසමයෙහි එක්තරා භික්ෂුණියකට පුරුෂනිමිත්ත පහළ විය. භාග්යවතුන් වහන්සේට මෙ පුවත සැළ කළාහු ය. මහණෙනි එම උපාධ්යායයන් වහන්සේ ද, එම උපසපුව ද, ඒ වස් ගණන ද, භික්ෂූන් සමග එක් වන්ට ද අනුදනිමි. භික්ෂුණීන් පිළිබඳ භික්ෂූන් හා සාධාරණ යම් ඇවැත් වේ නම් ඒ ඇවැත් භික්ෂූන් වෙත දෙසා නැගී සිටින්නට ද අනුදනිමි. භික්ෂුණීන් පිළිබඳ භික්ෂූන් හා අසාධාරණ යම් ඇවැත් කෙනෙක් වෙත් නම් ඒ ඇවැත්වලින් ඇවැත් නො වේ.” (15)