සන්‍ථත බණවර
1. එසමයෙහි විසල්පුර වැසි බොහෝ වජ්ජිපුත්‍ර භික්‍ෂුහු රිසි තාක් වැළඳුවාහු ය. රිසි තාක් ශයනය කළාහු ය. රිසි තාක් නෑවාහු ය. රිසි තාක් අනුභව කොට, රිසි තාක් ශයනය කොට, රිසි තාක් නා, නුනුවණින් මෙනෙහි කොට, පාතිමොක්ඛසංවර සඞ්ඛ්‍යාත ශික්‍ෂාව පිළිකෙව් නො කොට, සාජීවයෙහි දුබල බව පහළ නො කොට, මෙවුන්දම් සෙවියාහු ය. ඒ භික්‍ෂුහු පසු කාලයෙහි ඥාතිව්‍යසනයෙන් ද පහස්නා ලද්දාහු, භෝගව්‍යසනයෙන් ද පහස්නා ලද්දාහු, රෝගව්‍යසනයෙන් ද පහස්නා ලද්දාහු, ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් කරා එළඹ මෙසේ කියත්: “වහන්ස, ආනන්‍ද ස්ථවිරයෙනි, අපි බුදුරජුන්ට දොස් නො කියන්නමෝ වමු. ධර්‍මයට දොස් නොකියන්නමෝ වමු. සඞ්ඝයාට දොස් නොකියන්නමෝ වමු. වහන්ස, ආනන්‍ද ස්ථවිරයෙනි, අපි තමන්ට ම ගර්‍හා කරන්නමෝ වමු. අපි මෙරමා ගරහන්නමෝ නො වමු. යම්බඳු වූ අපි මෙසේ මැනැවින් දෙසූ ශාසනයෙහි පැවැදි ව දිවි ඇති තාක් පිරිපුන් පිරිසිදු මගබඹසර හැසිරෙන්නට නො හැක්කමෝ වූමු ද, ඒ අපි ම කාලකණ්ණි වමු. අපි ම මද පිණැත්තමෝ වමු. වහන්ස, ආනන්‍ද ස්ථවිරයෙනි, ඉදින් දැනුදු අපි භාග්‍යවතුන් වහන්සේ ලඟ පැවිද්ද ලබන්නමු නම් උපසම්පදාව ලබන්නමු නම් යෙහෙක. දැනුත් අපි මහද්ගත කුශල ධර්‍මයන් විදර්‍ශනා වශයෙන් වඩන්නමෝ පෙර යම හා පැසුළු යම බෝධිපාක්‍ෂික ධර්‍ම වැඩීමෙහි එක්වන් යෙදුනමෝ ව වාසය කරන්නමු. වහන්ස, ආනන්‍ද ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කරන්නහු නම් යෙහෙකි” යනු යි “ඇවැත්නි, එසේ යැ”යි වදාරා ආයුෂ්මත් වූ ආනන්‍ද ස්ථවිර තෙමේ විසල් පුරවැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූන්ට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ එපවත් සැළ කෙළේ ය.
2. “ආනන්‍දය, තථාගත තෙමේ සව්වන්ට පණවන ලද පරිජි සිකපදය වජ්ජීන් හෝ වජ්ජිපුත්‍රයන් හෝ නිසා උදුරාලන්නේ ය” යන යමක් වේ ද, මෙය විද්‍යමාන නො වෙයි. එයට අවකාශයක් ද නැතැ”යි වදාළසේක. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් මහණෙක් තෙමේ ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප නො කොට, දුබල බව පළ නො කොට, මෙවුන්දම් සේවනය කෙරේ ද, හෙතෙමේ නැවත පැමිණියේ ද උපසපන් නො කටයුතුයි. මහණෙනි, යම් මහණෙක් තෙමේ ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කොට, දුබල බව පළ කොට, මෙවුන්දම් සේවනය කෙරේ ද, හෙතෙමේ පැමිණියේ උපසපන් කටයුතු යි. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
3. “යම් කිසි මහණෙක් භික්‍ෂූන්ගේ අධිශීල සඞ්ඛ්‍යාත ශික්‍ෂාවට හා ප්‍රඥප්ත ශික්‍ෂාපද සඞ්ඛ්‍යාත සාජීවයට පැමිණියේ, පාතිමොක්ඛසංවර සඞ්ඛ්‍යාත ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප නො කොට, සාජීවයෙහි දුබලබව පළ නො කොට, යටත් පිරිසෙයින් තිරිසන් ගිය මාගමක් හා ද මෙවුන්දම් සෙවියේ නම්, කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ පියෙවි මහණුන් හා සමානසංවාස නැති බැවින් අසංවාස වේ”.
තෙවැනි පැණවීමයි.
4. යො පන යනු: යම්බඳු, යම්, යම් ක්‍රියාවක යෙදුනු, යම්බඳු ජාති ඇති, යම්බඳු නම් ඇති, යම්බඳු ගොත් ඇති, යම්බඳු ස්වභාව ඇති, යම්බඳු විහරණ ඇති, යම්බඳු පැවතුම් ඇති ස්ථවිර වූවෙක් හෝ නවක වූවෙක් හෝ මජ්ඣිමයෙක් හෝ වේ ද, මෙ තෙමේ ‘යො පන’යි කියනු ලැබේ.
5. භික්ඛු යනු: සිඟා යන්නේ නු යි භික්ඛු නමි. භික්‍ෂාටනයට පැමිණියේ නු යී භික්ඛු නමි. බුන් වත් දරා නු යි භික්ඛු නමි. ව්‍යවහාර මාත්‍රයෙන් කිසිවෙක් භික්ඛු නම් වේ. ප්‍රතිඥාමාත්‍රයෙන් කිසිවෙක් භික්ඛු නමි. ‘එහි භික්ඛු’ යන්නෙන් භික්‍ෂු භාවය ලැබී නු යි භික්ඛු නමි. තිසරණගමනයෙන් උපසපන් වූයේ නු යි භික්ඛු නමි. භද්‍ර වූ ශීලාදි පංච ධර්‍මයන්ගෙන් යුක්ත වූයේ නු යි භික්ඛු නමි. ශීලසාරාදියෙන් ම යුක්ත නු යි භික්ඛු නමි. හික්මේ නු යි භික්ඛු නමි. හික්මීම අවසන් කෙළේ නු යි භික්ඛු නමි. සමග වූ සඟන විසින් අකෝප්‍ය වූ ශාසනයට සුදුසු වූ ඥප්තිචතුර්‍ත්‍ථ කර්‍මයෙන් උපසපන් කරණ ලද්දේ නු යි භික්ඛු නමි. එහි යම් ඒ මහණෙක් සමග්‍ර සඞ්ඝයා විසින් අකෝප්‍ය වූ ශාසනයට සුදුසු වූ ඥප්තිචතුර්‍ත්‍ථ කර්‍මයෙන් උපසපන් කරණ ලද්දේ වේ ද මේ තෙමේ අර්‍ත්‍ථයෙහි භික්ඛු ය යි අදහස් කරණ ලද්දේ ය.
6. සික්ඛා යනු: අධිසීල සික්ඛා ය, අධිචිත්ත සික්ඛා ය, අධිපඤ්ඤා සික්ඛාය යි ශික්‍ෂා තුණෙකි. මේ ත්‍රිවිධ ශික්‍ෂාවන් අතුරෙන් යම් මේ අධිසීලශික්‍ෂාවක් වේ ද මෝ තොමෝ මෙහි ලා සික්ඛා ය යි අදහස් කරණ ලදූ.
7. සාජීව නම්: භාග්‍යවතුන් වහන්සේ විසින් පණවන ලද යම් සිකපදයක් වේ ද, මෙය සාජීව නමි. එහි හික්මෙයි. එහෙයින් සාජීව සමාපන්න ය යි කියනු ලැබේ.