4. 6. 10.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඩක් හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවූ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ මෙහෙණ දූෂණය කරන්නට වෑයම් කෙළේ යැ. ඕ තොමෝ වියරුහඬක් කළා යැ. මෙහෙණෝ වෙතැ දුවැ අවුත් ඒ මෙහෙණට මෙය කීහු: ආර්‍ය්‍යාවෙනි, කුමක් හෙයින් තෝ වියරුහඬක් කෙළෙහි දැ යි. එකල්හි ඒ මෙහෙණ තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවූ දැ” යි. … සැබෑද මහණෙනි, මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හුදකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳ වූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් (සිරුරැ) යට පෙදෙසැ හටගත් ගඬක් හෝ වණයක් හෝ සඞ්ඝයා හෝ ගණයා හෝ නො පිළිවිසැ හුදෙකලා වූ පිරිමිනියකු ලවා හුදෙකලා වූවා බිඳවා නම් හෝ පළවා නම් හෝ දොවවා නම් හෝ අලෙව් දෙවා නම් හෝ බඳවා නම් හෝ මුදවා නම් හෝ පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පසාඛ නම්: නැබෙන් යට දණමඬලෙන් මතු.
ජාතං: එහි හටගත්.
ගණ්ඩ නම්: යම්කිසි ගඬෙකි.
රුහිත නම්: යම්කිසි වණයෙකි.
අනපලෝකෙත්‍වා: නො පිළිවිසැ.
සඞ්ඝ නම්: භික්‍ෂුණී සඞ්ඝ තෙමේ කියනු ලැබේ.
ගණ නම්: බොහෝ මෙහෙණෝ කියනු ලැබෙත්.
පුරිස නම්: මිනිස් පිරිම්නියෙකි. යකෙක් නො වෙයි. ප්‍රේතයෙක් නො වෙයි. තිරිසනෙක් නො වෙයි. දූෂණය කරන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
සද්ධිං: එක් වැ.
එකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වේ.