4. 1. 10.
දසවන සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ වේළුවන නම් කලන්‍දක නිවාපයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි රජගහ නුවරැ ගිරග නැටුමෙක් වෙයි. සවග මෙහෙණෝ ගිරග නැටුම දකිනු පිණිස ගියහ. මිනිස්සු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගිනීන් මෙන් නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස ආවාහු දැ”යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් සවග මෙහෙණෝ නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස ගියාහු දැ”යි. ... සැබෑද මහණෙනි, සවග මෙහෙණෝ නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස යෙද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ නැටුම් ද ගැයුම් ද වැයුම් ද දකිනු පිණිස ගියාහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද, මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
“යම් මෙහෙණක් නටනු හෝ ගයනු හෝ වයනු හෝ දකිනු පිණිස යා නම් පචිති වේ” යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
නච්ච නම්: යම් කිසි නැටීමක්.
ගීත නම්: යම් කිසි ගැයීමක්.
වාදිත නම්: යම් කිසි වැයීමක්.
දකිනු පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වෙයි. එකක් එකක් දකිනු පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා දකී නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වේ.”
අරමෙහි සිටියා දකී නම් හෝ අසා නම් හෝ, මෙහෙණක්හු සිටි තෙනට හෝ හුන්තෙනට හෝ හොත්තෙනට හෝ අවුත් නටත් නම් හෝ ගයත් නම් හෝ වයත් නම් හෝ, පෙරැමග යන්නී දකී නම් හෝ අසා නම් හෝ, ඇවැසි කරුණක් ඇති කල්හි ගොස් දකී නම් හෝ අසා නම් හෝ ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
ප්‍රථම ලසුන වර්‍ග යි.
එහි උද්දානය:
ලසුන යැ ලෝමසංහරණ යැ තලඝාතක යැ ජතුමට්ටක යැ උදක සුද්ධික යැ ආමකධඤ්ඤ ය සමඟ භුඤ්ජන්ත යැ විඝාස දෙක යැ දස්සන යැ යි.