1. 4.
චතුර්‍ත්‍ථ පාරාජිකය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එකල්හි වනාහි සවග මෙහෙණෝ රාගයෙන් තෙත්වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්ම ද ඉවසති. සඟළකොන් ගැන්ම ද ඉවසති, වැළතට පැමිණ ද සිටිති. සල්ලාප ද කෙරෙති, සලකුණු කළ තැනට ද යෙති, තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීම ද ඉවසති, පිළිසන් තැනට ද පිවිසෙති, තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා (තමන්ගේ) ශරීරය ද එළවත්.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ රාගයෙන් තෙත්වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්මත් ඉවසූහු ද? සඟළ කොන් ගැන්මත් ඉවසූහු ද? වැළතට පැමිණ සිටීමත් කොළෝ ද? සල්ලාපත් කොළෝ ද? සලකුණු කළ තැනටත් ගියෝ ද? තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීමත් ඉවසූ ද? පිළිසන් තැනටත් පිවිසියෝ ද? තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරයත් එළවූහු දැයි. ... සැබෑ ද මහණෙනි සවග මෙහෙණෝ රාගයෙන් තෙත් වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්මත් ඉවසත් ද? සඟළකොන් ගැන්මත් ඉවසත් ද? වැළතට පැමිණ සිටීමත් කෙරෙත් ද? සල්ලාපත් කෙරෙත් ද? සලකුණු කළ තැනටත් යෙත් ද? තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීමත් ඉවසත් ද? පිළිසන් තැනටත් පිවිසෙත් ද? තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරයත් එළවත් දැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ...
කෙසේ නම් සවග මෙහෙණෝ රාගයෙන් තෙත් වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්මත් ඉවසූහු ද? සඟළකොන් ගැන්මත් ඉවසූහු ද? වැළතට පැමිණ සිටීමත් කොළෝ ද? සල්ලාපත් කොළෝ ද? සලකුණු කළ තැනටත් ගියෝ ද? තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීමත් ඉවසූහු ද? පිළිසන් තැනටත් පිවිසියෝ ද? තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරයත් එළවූහු ද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
යම් මෙහෙණක් රාගයෙන් තෙත්වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්ම හෝ ඉවසන්නී නම් සඟළකොන් ගැන්ම හෝ ඉවසන්නී නම් වැළැතට පැමිණ සිටින්නී නම් හෝ සල්ලාප හෝ කරන්නී නම් සලකුණු කළ තැනට හෝ යන්නී නම් තමා වෙතට පිරිම්නියක්හුගේ පැමිණීම හෝ ඉවසන්නී නම් පිළිසන් තැනට හෝ පිවිසෙන්නී නම් තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරය හෝ එළවන්නී නම් මෝ තොමෝ පරිජි වූවා සහවාසයට නො නිසි වූවා වෙයි – අට්ඨවත්‍ථුකා යැ.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අවස්සුතා නම්: (කායසංසර්‍ගරාගයෙන්) මොනොවට රත් වූ (පිරිම්නියක්හු කෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තී යැ.
අවස්සුත නම්: (කායසංසර්‍ගරාගයෙන්) මොනොවට රත් වූ (මාගමක කෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තේ යැ.
පුරිසපූග්ගල නම්: මිනිස් පිරිම්නියෙකි. යක්‍ෂයෙක් නො වෙයි. ප්‍රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වේ. කායසංසර්‍ගයට සමවදින්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
හත්‍ථගහණං වා සාදියෙය්‍ය: හත්‍ථ නම් වැළමිට පටන් නිය අග තෙක් යැ. තෙල මෙවුන්දම් සෙවුනා පිණිස අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ ගැන්ම ඉවසා නම් තුලැසි ඇවැත් වේ.
සඞ්ඝාටිකණ්ණගහණං වා සාදිසෙය්‍ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස හැඳිවත හෝ පොරෝනාව හෝ ගැන්ම ඉවසා නම් තුලැසි ඇවැත් වේ.