අෂ්ටම ශික්‍ෂාපද යි.
8. 7. 9.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසත්, යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසූහු” දැ යි. ... සැබෑ ද මහණෙනි, තෙපි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසවු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහු.
2. මහණෙනි, පෙරැ වූවක් කියමි: බරණැස් නුවරැ එක්තරා සැඩොලක්හුගේ අඹුව ගැබිනි වූ යැ. එකල්හි මහණෙනි, ඒ සැඩොලී තොමෝ ඒ සැඩොල්හට මෙය කිවු යැ. ‘හිමිපුත, ගැබිනියක් වෙමි, අඹ කන්නට කැමැත්තෙමු’ යි, අඹ නැති. අඹ පිළිබඳ කාලය නො වෙයි, ඉදින් මම නො ලබම් නම් මැරෙමි යි. එසමයෙහි වනාහි රජුගේ අඹරුක නිතිපල ඇතියේ වෙයි. එකල්හි මහණෙනි, ඒ සැඩොල් තෙමේ ඒ අඹරුක වෙතැ එළඹියේ යැ. එළැඹැ ඒ අඹරුකට නැග සැඟවී හුන්නේ යි.
3. ඉක්බිති මහණෙනි, රජ තෙමේ පෙරෙවි බමුණා සමග ඒ අඹරුක වෙතැ එළැඹියේ යැ. එළැඹැ උස් අස්නෙහි හිඳ මන්ත්‍ර පිරිවහයි. එකල්හි මහණෙනි, ඒ සැඩොල්හට මෙ සිත විය. යමෙක් උස් අස්නෙහි හිඳ මන්ත්‍ර පිරිවහා නම් මේ රජ තෙමේ කැලැ මැ නො දැහැමි යැ. යමෙක් මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නාහට මන්ත්‍ර හදාරවා නම් මේ බමුණු තෙමේත් නො දැහැමි යැ. යම්බඳු මම අඹුවගේ කරුණෙන් රජහුගේ අඹ සොරකම් කරම් නම් ඒ මමත් නො දැහැමි වෙමි, මේ මුළු ලොව මැ නො දැහැමිකමින් අවුල් වී යැ යි එහි මැ වැටුණේ යි.
යමෙකුත් මොහුට මන්ත්‍ර හදාරවා ද, යමෙකුත් අධර්‍මයෙන් හදාරා ද මේ දෙදෙන මැ අර්‍ත්‍ථය නො දනිති, ධර්‍මය නො බලත්.
(මා විසින් රජහුගේ) පිරිසුදු රසමසවුළෙන් යුතු හැල්බත වළඳන ලදී. එහෙයින් (බඩවියත තකා) ධර්‍මයෙහි නො පවතිමි. මේ ධර්‍මය ආර්‍ය්‍යන් විසින් පසස්නා ලදැ යි (දනිමි).
බමුණ, (මෙසේ නො දැහැමින් ලත්) තාගේ යශෝලාභයට ද ධනලාභයට ද (මතු) අවාහි හෙන සේ අධර්‍මචරණයෙන් (දැන්) පැවැති දිවෙලට ද නින්‍දා වේවා.
මහබමුණ, (මෙදෙසින්) නැගී යා, සෙසු සත්තු ද පිසති, (කති). හැසිරෙන ලද මේ අධර්‍මය තෙමේ තා ගලින් කළයක් මෙන් නහමක් බිඳීවා.
4. එදා දු මහණෙනි, මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට මන්ත්‍ර හදාරවනු මට මනාප නො වෙයි. මෙකල්හි වනාහි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසනු මනාප නො වනු කියනුම කිම? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නා වූ නො ගිලන් හට දහම් නො දෙසන්නෙමියි හික්මියැ යුතු” යි.
5. මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.