ෂෂ්ඨ ශික්‍ෂාපද යි.
8. 5. 7.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු අත් සල සලා වළඳත් ...
“අත් සලසලා නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
අත් සලසලා නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත් සලසලා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කසළ ඉවත ලමින් අත ගසාදමා නම්, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
සප්තම ශික්‍ෂාපද යි.
8. 5. 8.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බත්හුළු විසුරුවමින් වළඳත්.
“බත්හුළු ඉසැ ඉසැ නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
බත්හුළු විසුරුවමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස බත්හුළු විසුරුවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කසළ ඉවතලමින් බත්හුළු ඉවත ලනු ලැබේ නම්, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
අෂ්ටම ශික්‍ෂාපද යි.
8. 5. 9.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු දිව නෙරනෙරා වළඳත් ...
“දිව නෙරනෙරා නො වළඳන්නෙමියි හික්මියැ යුතු” යි.
දිව නෙර නෙරා නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස දිව නෙර නෙරා වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.