කබළ වර්‍ගය
8. 5. 1.
එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මහණහු ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත කෙරෙත් ...
“ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.
ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ප්‍රථම ශික්‍ෂාපද යි.
8. 5. 2.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ වළඳමින් මුළු අත මුවෙහි බහාලත් ...
“වළඳමින් මුළු අත මුවෙහි නො බහාලන්නෙමි යි හික්මියැ යුතු” යි.
වළඳන්නහු විසින් මුළු අත මුවෙහි නො බහා ලිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස වළඳමින් මුළු අත මුවෙහි බහා ලා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ද්විතීය ශික්‍ෂාපද යි.
8. 5. 3.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු ආලෝපය සහිත මුවින් බෙණෙත්. ...
“ආලෝපය සහිත මුවින් නො බණන්නෙමි යි හික්මියැ යුතු” යි.
ආලෝපය සහිත මුවින් නො බිණිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ආලෝපය සහිත මුවින් බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෘතීය ශික්‍ෂාපද යි.
8. 5. 4.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු (මුවතුළට) පිඬු දමා ගසමින් වළඳත් ...
“පිඬු මියෙහි දමා ගසමින් නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
පිඬු දමා ගසමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස පිඬු දමා ගසමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළෙහි, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.
8. 5. 5.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු ආලෝපය සිඳ සිඳ වළඳත් ...
“ආලෝපය කඩ කඩා නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
ආලෝපය සිඳ සිඳ නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ආලෝපය සිඳ සිඳ වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට නො සිහියෙන් කරන්නහුට නො දන්නහුට ගිලනහුට කැවිලියෙහි, පලවැළෙහි, අවුළුපත්හි, ආපදායෙහි, ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
පඤ්චම ශික්‍ෂාපද යි.
8. 5. 6.
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හකුපුරා ගෙනැ වළඳත් ...
“පිඬු කොපුලැ රැස්කොට නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
හකු පුරා ගෙනැ නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස එක්පසින් හෝ දෙපසින් හෝ හකු පුරා ගෙනැ වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළෙහි, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්‍ෂාපද යි.