පරිමණ්ඩල වර්‍ගය
8. 1. 1.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හඳිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් ඉදිරිපසිනුදු පසුපසිනිදු එල්වමින් හැන්දාහු” දැ යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්තිශබ්දය) ඇසූහු, යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වනුවන් වැ හඳනාහු” දැ යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා සවග මහණුන් පිළිවිසූසේකැ” සැබෑ ද මහණෙනි, තෙපි ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වනුවන් වැ හඳිවු දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වනුවන් වැ හැන්දහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“පිරිමඬුලු කොට හඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
3. නැබමඬල දණමඬල වසන්නහු විසින් පිරිමඬුලු කොට හැන්ද යුතු යි, යමෙක් අනාදරිය පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
ප්‍රථම ශික්‍ෂාපද යි.
8. 1. 2.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬුසිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් පොරවත් ...
“පිරිමඬුලු කොට පොරවන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පොරවන්නහු විසින් දෙකොන සම කොට පිරිමඬුලු කොට පෙරැවිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ද්විතීය ශික්‍ෂාපද යි.
8. 1. 3.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි සවග මහණහු කය විවර කොට ඇතුළුගමෙහි යෙත් ...
“සුපිළිසන් වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැයුතු” යි.
2. සුපිළිසන් වූවහු විසින් ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස කය විවර කොට ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දත්තහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෘතීය ශික්‍ෂාපද යි.
8. 1. 4.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි සවග මහණහු කය විවර කොට ඇතුළුගමෙහි හිඳිත් ...
“සුපිළිසන් වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
2. සුපිළිසන් වූවහු විසින් ඇතුළුගමෙහි හිඳි යැ යුතු. යමෙක් අනදර නිසා කය විවර කොට ගෙන අතුරුගෙයෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.