6. 9. 9.
වස්සකාටික ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් විසින් මහණුන්හට වැසිසළු අනුදන්නා ලද වෙයි. සවග මහණහු භාග්‍යවතුන් විසින් වැසිසළු අනුදන්නා ලදැ යි පමණ ඉක්මවූ වැසිසළු දරති. ඉදිරියෙනුදු පස්සෙනුදු අදිමින් ඇවිදිත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු පමණ ඉක්මවූ වැසිසළු දැරුහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පමණ ඉක්මවූ වැසිසළු දරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පමණ ඉක්මවූ වැසිසළු දැරුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු;
වැසිසළුවක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ, දිගින් සුගත්වියතින් සවියතෙකැ, සරසින් යෙළ තුන්වියතෙකි. එය ඉක්මවන්නාහට සිඳැලීම් ඇති පචිති වේ යයි.
2. වස්සාටිකා නම්: වසන්හි සිවුමස පිරිබෝ පිණිස යැ,
කාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ; පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත්වියතින් සවියතෙකැ. සරසින් යෙළ තුන්වියතෙකි. එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳැලා පචිති දෙසිය යුතු යි.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නොකරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි, මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
පමණින් යුතු කොට කෙරේ නම්, උනු කොට කෙරේ නම්, මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳැලා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදි කම්මිකයහට ඇවැත් නැති.
නවවැනි වස්සිකසාටික ශික්‍ෂාපද යි.
6. 9. 10.
නන්‍දත්‍ථේර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් ගේ සුළුමවගේ පුත්‍ර වූ ආයුෂ්මත් නන්‍දස්ථවිර තෙමේ විශිෂ්ටරූප ඇතියේ දැකුම්කලු වූයේ පැහැදුම් එළවනුයේ භාග්‍යවතුන්හට සතරඟුලෙකින් මිටි වූයේ වෙයි. හේ සුගත්සිවුරුපමණ සිවුරක් දරයි. ස්ථවිර භික්‍ෂූහු දුර දී මැ එන්නාවූ ආයුෂ්මත් නන්‍දතෙරහු දුටුහු දැකැ භාග්‍යවතුන් වහන්සේ වඩනාසේකැ යි හුනස්නෙන් නැගිට ඔහුවෙතැ එළැඹි කල්හි හැඳිනැ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් නන්‍දස්ථවිර තෙමේ සුගත්සිවුරුපමණ සිවුරක් දැරී දැ යි. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දතෙරහු පුළුවුත් සේකැ. සැබෑ ද නන්‍දයෙනි, තෙපි සුගත්සිවුරුපමණ සිවුරක් දරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූහ ... කෙසේ නම් නන්‍දයෙනි, තෙපි සුගත්සිවුරුපමණ සිවුරක් දැරුවහු ද? නන්‍දයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙන් සුගත්සිවුරුපමණ හෝ අයිරා කොට හෝ සිවුරක් කරවන්නේ නම් ඡේදනක පචිති ඇවැත් වෙයි. එහි මේ සුගත්හුගේ සුගත්සිවුරෙහි පමණ යැ, දිගින් සුගත්වියතින් නවවියතෙකැ, සරසින් සවියතෙකි. මේ සුගතයන්ගේ සුගත් සිවුරෙහි පමණ යි.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු: මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සුගතවිවර නම්: දිගින් සුගත්වියතින් නවවියතෙකැ, සරසින් සවියතෙකි.
කාරාපෙය්‍ය: කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳැලා පචිති දෙසිය යුතු යි.