6. 9. 10.
නන්‍දත්‍ථේර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් ගේ සුළුමවගේ පුත්‍ර වූ ආයුෂ්මත් නන්‍දස්ථවිර තෙමේ විශිෂ්ටරූප ඇතියේ දැකුම්කලු වූයේ පැහැදුම් එළවනුයේ භාග්‍යවතුන්හට සතරඟුලෙකින් මිටි වූයේ වෙයි. හේ සුගත්සිවුරුපමණ සිවුරක් දරයි. ස්ථවිර භික්‍ෂූහු දුර දී මැ එන්නාවූ ආයුෂ්මත් නන්‍දතෙරහු දුටුහු දැකැ භාග්‍යවතුන් වහන්සේ වඩනාසේකැ යි හුනස්නෙන් නැගිට ඔහුවෙතැ එළැඹි කල්හි හැඳිනැ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් නන්‍දස්ථවිර තෙමේ සුගත්සිවුරුපමණ සිවුරක් දැරී දැ යි. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දතෙරහු පුළුවුත් සේකැ. සැබෑ ද නන්‍දයෙනි, තෙපි සුගත්සිවුරුපමණ සිවුරක් දරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූහ ... කෙසේ නම් නන්‍දයෙනි, තෙපි සුගත්සිවුරුපමණ සිවුරක් දැරුවහු ද? නන්‍දයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙන් සුගත්සිවුරුපමණ හෝ අයිරා කොට හෝ සිවුරක් කරවන්නේ නම් ඡේදනක පචිති ඇවැත් වෙයි. එහි මේ සුගත්හුගේ සුගත්සිවුරෙහි පමණ යැ, දිගින් සුගත්වියතින් නවවියතෙකැ, සරසින් සවියතෙකි. මේ සුගතයන්ගේ සුගත් සිවුරෙහි පමණ යි.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු: මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සුගතවිවර නම්: දිගින් සුගත්වියතින් නවවියතෙකැ, සරසින් සවියතෙකි.
කාරාපෙය්‍ය: කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳැලා පචිති දෙසිය යුතු යි.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
උනු කොට කෙරේ නම් මෙරමා විසින් කරන ලද්දක් ලැබ සිඳැලා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දස වැනි නන්‍දත්‍ථේරශික්‍ෂාපද යි.
නවවන රාජවර්‍ගය යි.
එහි උදානය:
රාජන්තෙපුර යැ රතන යැ (සන්ත) විකාලෙ ගාමප්පවේසන යැ සූචීඝර යැ මඤ්ච යැ තුලෝනද්ධ යැ නිසීදන යැ කණ්ඩුපටිච්ඡාදි යැ වස්සිකසාටික යැ [සුගතචීවරය නිසා පැන වූ] නන්‍දත්‍ථේරසිඛයෙන් දැ යි. වර්‍ගය වේ.
වර්ගෝද්දානය:
මුසාවාද යැ භූතගාම යැ භික්ඛුනෝවාද යැ භෝජන යැ අවෙලකය සමඟ සුරාපාන යැ සප්පාණක යැ සහධම්මික යැ රාජවර්‍ගය සමඟ ඒ වර්‍ග නවයෙකි.
ආයුෂ්මත්නි, දෙඅනූ පාචිත්තිධර්‍මයෝ උදෙසනලදහු මැ යි. එහි ලා ආයුෂ්මතුන් පුළුවුස්මි, කිම පිරිසුදුවහු ද? දෙවනවට දු පුළුවුස්මි, කිම පිරිසුදුවහු ද? තෙවනවට දු පුළුවුස්මි. කිම පිරිසුදුවහු ද? මෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදුහ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි.
ඛුද්දකය සමාප්ත යි.