6. 9. 8.
කණ්ඩුපටිච්ඡාදි ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්යවතුන් විසින් මහණුන්හට කස්පිළිසනෙක් අනුදන්නා ලද්දේ වෙයි. සවග මහණහු භාග්යවතුන් විසින් කස්පිළිසනෙක් අනුදන්නා ලදැ යි පමණ ඉක්මවූ කස් පිළිසන් දරති. ඉදිරියෙනුදු පස්සෙනුදු අදිමින් ඇවිදිත්. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්:
“කෙසේ නම් සවග මහණහු පමණ ඉක්මවූ කස් පිළිසන් දැරුහු දැ යි ... සැබෑද මහණෙනි, තෙපි පමණ ඉක්මවූ කස් පිළිසන් දරවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පමණ ඉක්මවූ කස් පිළිසන් දැරුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මේ සිකපදය උදෙසවු:
කස්පිළිසනක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යැ. එහි මේ පමණ යැ දිගින් සුගත වියතින් සිවු වියතෙකැ. සරසින් දෙවියතෙකි. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති වේ යයි.
2. කණ්ඩුපටි ඡාදි නම්: යමක්හුගේ නැබෙන් යට දණමඬලෙන් උඩ කැසිල්ලෙක් හෝ පොළෙක් හෝ මලවැහීමෙක් හෝ මහත් කස් ආබාධයෙක් හෝ වේ නම් ඒ ආබාධයාගේ වැසීම පිණිස.
කාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ; පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ දිගින් සුගත් වියතින් සිවු වියතෙකැ. සරසින් දෙවියතෙකි. එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳලා පචිති දෙසිය යුතු යි.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
පමණින් යුතු කොට කෙරේ නම් උනු කොට කෙරේ නම් මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳැලා පරිභෝග කෙරේ නම් වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
අටවැනි කණ්ඩුපටිච්ඡාදි ශික්ෂාපද යි.