6. 9. 7.
නිසීදන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් විසින් මහණුන්හට නිසීදනයෙක් අනුදන්නා ලද්දේ වෙයි. සවග මහණහු භාග්‍යවතුන් විසින් නිසීදනය අනුදන්නා ලදැ යි පමණ ඉක්ම වූ නිසීදනයන් ධරත්. හැඳෙහි දු පුටුවෙහි දු ඉදිරියෙනුදු පස්සෙනුදු එල්බෙත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු පමණ ඉක්මවූ නිසීදනයන් ධැරූහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පමණ ඉක්මවූ නිසීදනයන් ධරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පමණ ඉක්මවූ නිසීදනයන් දැරුවහු ද? හිස් පුරුෂයෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙ සිකපදය උදෙසවු:
නිසීදනයක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත් වියතින් දෙවියතෙකැ සරසින් යෙළවියතෙකි. එය ඉක්මවන්නාහට ඡේදනක පාචිත්තිය ඇවැත් වේ යයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මෙ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි වනාහි ආයුෂ්මත් උදායී මහත් සිරිරි ඇතියේ වෙයි. හේ භාග්‍යවතුන් පෙරටුයෙහි නිසීදනය පනවා හාත්පසින් අදිමින් හුන්නේ යැ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායිහට මෙය වදාළ සේකැ. කුමකට තෙපි උදායි, නිසීදනය පනවා පැරැණි සොම්මරකු මෙන් හාත්පසින් අදනෙහි දැ? යි. ස්වාමීනි, භාග්‍යවතුන් විසින් මහණුන්හට එබඳු ඉතා කුඩා නිසීදනයෙක් අනුදන්නා ලද්දේ මැ නු? ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේකැ. “මහණෙනි, නිසීදනයාගේ දහවලු වියතක් අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
නිසීදනයක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ දිගින් සුගත් වියතින් දෙවියතෙකැ සරසින් යෙළ වියතෙකැ. දහවලුව වියතෙකි. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති වේ යයි.
3. නිසීදන නම්: දහවලු සහිතය කියනු ලැබේ.
කාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ, පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ. දිගින් සුගත් වියතින් දෙවියතෙකැ, සරසින් යෙළ විය තෙකැ, දහවලුව වියතෙකි. එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳලා පචිති දෙසිය යුතු යි.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
පමණින් යුතු කොට කෙරේ නම් උනු කොට කෙරේ නම් මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳලා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නැත. උම්මත්තකයහට ආදි කම්මිකයහට ඇවැත් නැති.
සත්වැනි නිසීදන ශික්‍ෂාපද යි.
6. 9. 8.
කණ්ඩුපටිච්ඡාදි ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් විසින් මහණුන්හට කස්පිළිසනෙක් අනුදන්නා ලද්දේ වෙයි. සවග මහණහු භාග්‍යවතුන් විසින් කස්පිළිසනෙක් අනුදන්නා ලදැ යි පමණ ඉක්මවූ කස් පිළිසන් දරති. ඉදිරියෙනුදු පස්සෙනුදු අදිමින් ඇවිදිත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: