6. 9. 6.
තුලෝනද්ධ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කරවති. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදිනාහු දැකැ ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කැරැවූහු දැ යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කැරැවූහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කරවවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කැරැවූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් හැඳක් හෝ පුටුවක් හෝ පුළුන් බහා වළඳනා ලද්දක් කොට කරවන්නේ නම් විදැහීම් ඇති පචිති වේ යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
මඤ්ච නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්ච පාදක යැ යි සතර හැඳෙකි.
පීඨ නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්ච පාදක යැ යි සතර පුටුවෙකි.
තුල නම්: රුක් පුළුනැ ලියපුළුනැ තණපුළුනැ යි තුන් පුළුනෙකි.
කාරාපෙය්‍ය: කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් විදැ හෙළා පචිති දෙසිය යුතු යි.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
ආයෝගපට්ටයෙහි, කාබානෙහි, අංසවට්ටකයෙහි, පාත්‍රථවිකායෙහි, පෙරහනෙහි, මාවුලාවක් කෙරේ නම්, මෙරමා විසින් කරන ලද්දක් ලැබැ විදැ හෙළා පිරිබෝ කෙරේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදි කම්මිකයහට ඇවැත් නැති.
සවැනි තුලෝනද්ධ ශික්‍ෂාපද යි.