6. 9. 5.
මඤ්ච ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්ද ශාක්ය පුත්ර උස් හැඳෙකැ හොවී. එකල්හි භාග්යවතුන් වහන්සේ බොහෝ මහණුන් සමග සේනාසන චාරිකායෙහි ඇවිදිනා සේක් ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රගේ වෙහෙර වෙතැ එළැඹිසේකි. ආයුෂ්මත් උපනන්ද ශාක්ය පුත්ර දුර දී මැ වඩනා වූ භාග්යවතුන් දුටුවේ යි. දැකැ භාග්යවතුන්හට මෙය කී යැ. වහන්ස, භාග්යවතුන් වහන්සේ වඩනා සේක්වා මාගේ යහන බලන සේක්ව යි. ඉක්බිති භාග්යවතුන් වහන්සේ එතැනින් මැ පෙරළා වැඩ මහණුන් ඇමැතූ සේකැ. මහණෙනි ආශ්රයස්ථානයෙන් හිස් පුරුෂයා දත යුත්තේ යි. එකල්හි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රයහට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව් පිණිස ... මෙසේ ද මහණෙනි මේ සිකපදය උදෙසවු,
“අළුත් හැඳක් හෝ පුටුවක් හෝ කරවන මහණහු විසින් හැඳවතෙහි යටැ කොටස තබා සුගත් අඟුලෙන් අටඟුල් පා ඇති සේ කැරවිය යුතු යි. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති ඇවැත් වේ”යයි.
2. නව නම්: කිරීම නිසා කියනු ලැබේ.
මඤ්ච නම්: මසාරක යැ බුන්දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්චපාදක යැ යි සතර හැඳෙකි.
පීඨ නම්: මසාරක යැ බුන්දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්චපාදක යැ යි සතර පුටුවෙකි.
කාරයමානෙන; කරන්නේ හෝ කරවන්නේ හෝ;
අට්ඨඞ්ගුලපාදකං කාරෙතබ්බං සුගතඞ්ගුලෙන අඤ්ඤත්ර හෙට්ඨිමාය අටනියා: යට හැඳවත තබා; එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳැ පචිති ඇවැත් දෙසිය යුතු
තමා විසින් නිමාම් නොකරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නොකරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
පමණින් යුතු කොට කෙරේ නම්, උනු කොට කෙරේ නම්, මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳ පිරිබෝ කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
පස්වැනි මඤ්ච ශික්ෂාපද යි.
6. 9. 6.
තුලෝනද්ධ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කරවති. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදිනාහු දැකැ ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්රමණ ශාක්යපුත්රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කැරැවූහු දැ යි.