6. 9. 4.
සූචිඝර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුරැ නුගඅරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා දළකම්කරුවකු විසින් භික්‍ෂූහු පවරන ලද්දාහු වෙති. යම් හිමි කෙනකුන්හට හිදිගුළායෙන් ප්‍රයෝජනයෙක් වේ නම් හිදිගුළායෙන් මම පවරමැ යි. එසමයෙහි වනාහි භික්‍ෂුහු බොහෝ හිදිගුළා විනවති. යම් කෙනකුන්හට කුඩා හිදිගුළා වෙත් නම් ඔහු මහත් හිදිගුළා විනවති. යම් කෙනකුන්හට මහත් හිදිගුළා වෙත් නම් ඔහු කුඩා හිදිගුළා විනවත්. එකල්හි ඒ දළකම්කරු තෙමේ මහණුන් හට බොහෝ හිදිගුළා කරනුයේ අන් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේත් නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝත් මිරිකෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවූහු”ද? මෙතෙමේ මොවුනට බොහෝ හිදිගුළා කරනුයේ අන් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේත් නො යැපෙයි. මොහුගේ අඹුදරුවෝත් මිරිකෙත්”යයි.
2. භික්‍ෂූහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්” කෙසේ නම් භික්‍ෂූහු පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවූහු දැ යි ... සැබෑ ද මහණෙනි භික්‍ෂූහු පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් ඇටමුවා හෝ දළමුවා හෝ අංමුවා හෝ හිදිගුළාවක් කරවා නම් භේදනක පචිති ඇවැත් වේ යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
අට්ඨි නම්: යම් කිසි ඇටයෙක්;
දන්ත නම්: ඇත්දතැයි කියනු ලැබේ.
විසාණ නම්: යම් කිසි හඟෙක්;
කාරාපෙය්‍ය කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් බිඳ පියා පචිති ඇවැත් දෙසිය යුතු.
තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්ද ලැබ පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
ගණ්ඨියෙහි අරණියෙහි (ගිනිගානාදඬුයෙහි) කාබාන් විටුයෙහි අඳුන් තලයෙහි, අඳුන් ලහයෙහි, වෑදඬියෙහි, දියපිස්නෙහි ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සතරවැනි සූවිඝර ශික්‍ෂාපද යි.
6. 9. 5.
මඤ්ච ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර උස් හැඳෙකැ හොවී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ බොහෝ මහණුන් සමග සේනාසන චාරිකායෙහි ඇවිදිනා සේක් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රගේ වෙහෙර වෙතැ එළැඹිසේකි. ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍ය පුත්‍ර දුර දී මැ වඩනා වූ භාග්‍යවතුන් දුටුවේ යි. දැකැ භාග්‍යවතුන්හට මෙය කී යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක්වා මාගේ යහන බලන සේක්ව යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එතැනින් මැ පෙරළා වැඩ මහණුන් ඇමැතූ සේකැ. මහණෙනි ආශ්‍රයස්ථානයෙන් හිස් පුරුෂයා දත යුත්තේ යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයහට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව් පිණිස ... මෙසේ ද මහණෙනි මේ සිකපදය උදෙසවු,
“අළුත් හැඳක් හෝ පුටුවක් හෝ කරවන මහණහු විසින් හැඳවතෙහි යටැ කොටස තබා සුගත් අඟුලෙන් අටඟුල් පා ඇති සේ කැරවිය යුතු යි. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති ඇවැත් වේ”යයි.