6. 9. 3.
විකාලෙ ගාමප්පවේසන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානා ප්‍රකාර වූ තිරශ්චීනකථා කියති. හේ මෙසේ යැ: රාජකථා යැ චෝරකථා යැ මහාමාත්‍රකථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ අන්නකථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධකථා යැ ඥාතිකථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ පුරුෂකථා යැ සූරකථා යැ විශිඛාකථා යැ කුම්භස්ථානකථා යැ පූර්‍වප්‍රේතකථා යැ නානාත්‍වකථා යැ ලෝකාඛ්‍යායිකා යැ සමුද්‍රාඛ්‍යායිකා යැ ඉතිභවාභවකථා යනාදී හු යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවති: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ කාමභෝගී ගිහියන් මෙන් නානාප්‍රකාර වූ තිරශ්චීනකථා කීහු ද? ඔහු මෙසේ යැ; රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභාවාභවකථා යැ යනාදීහු යි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්:” කෙසේ නම් සවග මහණෝ විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානා ප්‍රකාර වූ තිරශ්චීනකථා කීහු ද? හෙ මෙසේ යැ. රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභවාභවකථා යැ යනාදීහු යි. සැබෑ ද මහණෙනි, තෙපි විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානාප්‍රකාර වූ තිරශ්චීනකථා කියවු ද? හෙ මෙසේ යැ. රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභවාභවකථා යැ යනාදීහු යැ. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානා ප්‍රකාර වූ තිරශ්චීන කථා කීවාහු ද? ඔහු මෙසේ යැ රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභවාභවකථා යැ යනාදීහු යැ. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වේ යි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ ය යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නාහු සවසැ එක්තරා ගමක් වෙත පැමිණියහ. මිනිස්සු ඒ මහණුන් දැකැ තෙල කීහු: “වහන්ස, පිවිසෙනු මැනැවැ” යි. එකල්හි ඒ භික්‍ෂූහු විකාලයෙහි ගම් වදනට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුසනුවෝ නො පිවිසියහ. සොරු ඒ මහණුන් අසිඳගත්හ. එකල්හි ඒ භික්‍ෂූහු සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වූහු. භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේකැ. “මහණෙනි, පිළිවිසැ විකාලයෙහි ගම් වදනට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් නො පිළිවිසැ විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ යයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
4. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නේ සවසැ එක්තරා ගමකට පැමිණියේ යැ. මිනිස්සු එමහණ දැක තෙල කීහු: “වහන්සැ පිවිසෙන්නැ”යි එකල්හි ඒ මහණ නො පිළිවිසැ විකාලයෙහි ගම් වදනට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැයි කුකුසනුයේ නො පිවිසියේ යැ. සොරු ඒ මහණහු අසිඳගත්හ. එකල්හි ඒ මහණ සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, ඇති මහණක්හු පිළිවිසැ විකාලයෙහි ගම් වදින්නට අනුදනිමි” මෙසේ ද මහණෙනි මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් ඇති මහණක්හු නො පිළිවැසැ විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ යයි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් සර්‍පයකු විසින් දෂ්ට කරන ලද්දේ වෙයි. එක්තරා මහණෙක් ගිනි ගෙනැ එන්නෙමැ යි ගමට යෙයි. එකල්හි ඒ මහණ ඇති මහණක්හු නො පිළිවිසැ විකාලයෙහි ගමට පිවිසෙන්නට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුසනුයේ නො පිවිසියේ යැ. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, එබඳු අත්‍යායික කාර්‍ය්‍යයක් ඇති කල්හි මහණක්හු නො පිළිවිසැ විකාලයෙහි ගම් වදනට අනු දනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු
යම් මහණෙක් එබඳු අත්‍යායික කාර්‍ය්‍යයක් තබා ඇති මහණක්හු නො පිළි විසැ විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ යයි.