6. 9. 2.
රතන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් අචිරවතී නදියෙහි ස්නාන කෙරෙයි. එක්තරා බමුණෙකුදු පන්සියයෙකින් පිරි පියැල්ලක් ගොඩබිමැ බහා තබා අචිරවතී නදියෙහි නහා නො සිහි කොට ගියේ යැ. එකල්හි එ මහණ ඒ බමුණාගේ මේ පියැල්ල මෙහි නහමක් නසීව යි ගත්තේ යැ. එකල්හි ඒ බමුණා සිහි කොට වෙළෙවි වෙළෙවි වැ දිවැ අවුත් එමහණහට ‘පින්වත, මාගේ පියැල්ල දක්නෙහි දැ’ යි මෙය කී යැ. ඉඳ බමණැයි දින. එකල්හි එ බමණහට මෙසිත විය; මම කිනම් උපායෙකින් මෙ මහණහට පූර්ණ පත්රය (සියයට පහ) නො දෙන්නෙම් දැ යි. පින්වත, මාගේ පන්සියයෙක් නො වෙයි. මාගේ දහසෙකැ යි වද දී මුදාලී යැ.
2. ඉක්බිති ඒ මහණ ආරාමයට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් රත්නයක් පිළිගත්තේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි රත්නයක් පිළි ගත්තු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි රත්නයක් පිළිගත්තහු ද? හිස් පුරුෂය, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු.
“යම් මහණෙක් රත්නයක් හෝ රත්න සම්මතයක් හෝ ගන්නේ නම් හෝ ගන්වන්නේ නම් හෝ පචිති වේ” යයි.
මෙසේ භාග්යවතුන් විසින් භික්ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි වනාහි සැවැතෙහි උත්සවයෙක් වෙයි. මිනිස්සු අබරණ ලා සැරසුණාහු උයනට යෙති. විශාඛා මිගාරමාතෘ තොමෝත් අබරණ ලා සැරසුණී උයනට යන්නෙමැ යි ගමින් නික්ම මම උයනට ගොස් කුමක් කෙරෙම් ද? යම් හෙයකින් මම භාග්යවතුන් වහන්සේ පර්ය්යුපාසන කරන්නෙම් නම් යෙහෙකැ යි අබරණ මුදාපියා උතුරු සළුවෙන් පොදියක් බැඳ “ඉඳ කෙල්ල! මේ පොදිය ගනුව”යි දස්සට දින. ඉක්බිති විශාඛා මිගාරමාතෘ තොමෝ භාග්යවතුන් වෙතැ එළැඹියා යැ. එළැඹැ භාග්යවතුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්නී යැ. භාග්යවතුන් වහන්සේ එකත් පසෙක හුන් මිගාරමාතෘ වූ විසාඛාව දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේකැ මොනවට කරුණු ගැන්වූ සේකැ, මොනවට තෙද ගැන්වූ සේකැ මොනවට සතුටු කැරවූ සේකි. ඉක්බිති මිගාරමාතෘ විසාඛා තොමෝ භාග්යවතුන් විසින් මොනවට කරුණු දක්වන ලදුවා මොනවට කරුණු ගන්වන ලදුවා මොනවට තෙද ගන්වන ලදුවා මොනවට සතුටු කරවන ලදුවා හුනස්නෙන් නැඟී භාග්යවතුන් සකසා වැඳ පැදකුණු කොට ඉවත් වැ ගියා යැ. එකල්හි ඒ දාසී තොමෝ ඒ පොදිය නො සිහි කොට ගියා යැ. භික්ෂූහු දැකැ භාග්යවතුන්හට තෙල කරුණ දැන්වූහු. එසේ නම් මහණෙනි, රැගෙනැ තැන්පත් කොට තබව යි.
4. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ ඇතුළු අරමෙහි හෝ ඇතුළු අවසෙහි හෝ රැගෙනැ හෝ ගන්වා ගෙනැ හෝ ‘මේ යමක්හුගේ වන්නේ නම් හේ ගෙනැයන්නේ යැ යි නඟා තැබීමට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ ඇතුළු අරම හෝ අවස හෝ තබා ගන්නේ නම් හෝ ගන්වන්නේ නම් හෝ පචිති වේ යැයි.
මෙසේත් භාග්යවතුන් විසින් භික්ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
5. එසමයෙහි වනාහි කාසී ජනපදයෙහි අනේපිඬු ගැහැවිහුගේ කර්මාන්ත ග්රාමයෙක් වෙයි. ඒ ගැහැවි විසිනුදු අතැවැසි අණවන ලද්දේ වෙයි, ඉදින් හිමිවරු පැමිණෙත් නම් බත් (පිළියෙළ) කරන්නෙහි ය යි, එසමයෙහි වනාහි බොහෝ භික්ෂූහු කාසි ජනපදයෙහි සැරිසරණුවෝ අනේපිඬු ගැහැවිහුගේ කමත්ගමට එළැඹියහ. ඒ පුරුෂ තෙමේ දුර දී මැ එන්නා වූ ඒ මහණුන් දිට. දැකැ ඒ මහණුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ ඒ මහණුන් සකසා වැඳ මෙය කී යැ. ස්වාමීනි, ආර්ය්යයෝ සෙට දවස පිණිස ගැහැවිහුගේ බත ඉවසත්වයි. ඒ භික්ෂූහු තූෂ්ණිම්භාවයෙන් ඉවසූහ. එකල්හි ඒ පුරුෂ තෙමේ එරැය ඇවෑමෙන් කෑ යුතු බුදිය යුතු පිණි දැය පිළිළෙ කරවා කල් දන්වා ඇඟිලිමුදුව මුදාපියා ඒ මහණුන් බතින් වළඳවා ආර්ය්යයෝ වළඳා නිමවා යෙත්වා මම ද කමතට යන්නෙමි යි ඇඟිලිමුදුව නො සිහි කොට ගියේ යැ. භික්ෂූහු දැකැ ඉදින් ඇපි යන්නෙමු නම් මේ ඇඟිලිමුදුව නැසෙන්නේ යැ යි එහි මැ හුන්හු. ඉක්බිති ඒ පුරුෂ තෙමේ කමතින් එන්නේ ඒ මහණුන් දැකැ මෙය කී යැ. කුමකට ස්වාමීනි” ආර්ය්යයෝ මෙහි මැ හිඳිද්දැ යි. එකල්හි ඒ භික්ෂූහු ඒ පුරුෂයහට තෙල කරුණ සැල කොට සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වූහු. භික්ෂූහු භාග්යවතුන්හට කරුණ දැන්වූහු.
6. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේකැ. “මහණෙනි, ඇතුළු අරමෙහි හෝ ඇතුළුගෙහි හෝ රත්නයක් හෝ රත්න සම්මතයක් හෝ රැගෙනැ හෝ ගන්වාගෙනැ හෝ මේ යමක්හුගේ වන්නේ නම් හේ රැගෙන යන්නේ යැ යි නඟා තැබීමට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් ඇතුළු අරම හෝ ඇතුළුගෙය හෝ හැර රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ ගන්නේ නම් හෝ ගන්වන්නේ නම් හෝ පචිති වේ. මහණහු විසින් ඇතුළු අරමෙහි හෝ ඇතුළුගෙයි හෝ රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ රැගෙන හෝ ගන්වා ගෙනැ හෝ යමක්හුගේ වන්නේ නම් හෝ ගෙනැයන්නේ යැ යි නඟා තැබිය යුතු යි මේ එහි අනුධර්මතා යි.