6. 9. 1.
රාජන්තෙපුර ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ උයන්පල්ලාට ‘යව කොලෙනි, උයනට යන්නෙමි උයන ශෝධනය කරව’යි අණ කෙළේ යැ. ‘එසේ යැ දේවයෙනි’යි ඒ උයන්පල් තෙමේ ප්‍රසේනජිත් කෝශල රාජයාහට පිළිවදන් දී උයන ශෝධනය කරන්නේ එක්තරා රුක්මුලෙකැ වැඩැහුන් භාග්‍යවතුන් දිටී. දැකැ ප්‍රසේනජිත් කෝශල රාජයා වෙතැ එළැඹියේ යැ. එළැඹැ ප්‍රසේනජිත් කෝශලරාජයාහට මෙය කී යැ. දේවයෙනි, උයන ශෝධනය කරන ලදි. තවද භාග්‍යවතුන් වහන්සේ වැඩැහුන් සෙයෙකැ යි. වේවා, බල, ඇපි භාග්‍යවතුන් පර්‍ය්‍යුපාසන කරම්හ යි.
2. ඉක්බිති ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ උයනට ගොස් භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එසමයෙහි වනාහි එක්තරා උවසුවෙක් භාග්‍යවතුන් පර්‍ය්‍යුපාසන කරමින් හුන්නේ වෙයි. ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ භාග්‍යවතුන් ඇසිරිකරමින් හුන් ඒ උවසුවා දිටි. දැකැ බියපත් වැ සිටියේ යි. එකල්හි ප්‍රසේනජිත් කෝශල රජහට මෙ සිත විය: මේ පුරුෂ තෙමේ යම් හෙයකින් භාග්‍යවතුන් ඇසිරි කෙරේ ද, එහෙයින් ලාමක වන්නට නො සුදුස්සෙකැ යි භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකල්හි ඒ උවසු තෙමේ භාග්‍යවතුන්හට ගෞරවයෙන් ප්‍රසේනජිත් කෝශල රාජයා නො මැ වැන්දේ යැ. හුනස්නෙන් නො නැඟ සිටියේ යැ. එකල්හි ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ නො සතුටු විය: “කෙසේ නම් මේ පුරුෂ තෙමේ මා ආ කල්හි නො මැ වැන්දේ ද? නො නැඟ සිටියේ”දැ යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ප්‍රසේනජිත් කෝශල රාජයා නො සතුටුවූවහු දැනැ ප්‍රසේනජිත් කෝශල රාජයාහට මෙය වදාළසේ කැ. මහරජ තෙල උවසු බහුශ්‍රැතයෙකැ ආගතාගමයෙකැ කාමයෙහි වීතරාගයෙකැ යි.
3. ඉක්බිති ප්‍රසේනජිත් කෝශල රාජයාහට මෙ සිත විය: මේ උවසු ලාමක වන්නට නො නිසි යැ, භාග්‍යවතුන් වහන්සේත් මොහුගේ ගුණ වනන සේකැ යි ඒ උවසුවාට මෙය කී යැ: උවුසුව, යමෙකින් වැඩෙක් වේ නම් කියන්නෙහි යැ යි යහපති දේවයෙනි යි (හේ කීය) එකල්හි භාග්‍යවතුන් වහන්සේ ප්‍රසේනජිත් කෝශල රාජයාට දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේකැ, මොනවට කරුණු ගැන්වූ සේකැ, මොනවට තෙද ගැන්වූ සේකැ, මොනවට සතුටු කැරවූ සේකි. එකල්හි ප්‍රසේනජිත් කෝශලරාජ තෙමේ භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙද ගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ඉවත් වැ ගියේ යි.
4. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශලරාජ තෙමේ මතු මහල් තලයට පැමිණියේ වෙයි. ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ වීථියෙහි කුඩගත් අත් ඇති වැ යන්නා වූ ඒ උවසුවා දිටි. දැකැ කැඳවා මෙය කී යැ. උවසුව, තෙපි බහුශ්‍රුත වව ආගතාගම ඇත්තව, මැනැවැ උවසුව; අපගේ ඇතොවුරට බණ උගන්වව යි. දේවයෙනි, මම යමක් දනිම් නම් එය ද ආර්‍ය්‍යයන් කරුණු කොට ගෙන වෙයි. ආර්‍ය්‍යයෝ මැ දේවයන්ගේ ඇතොවුරට බණ උගන්වන්නාහ යි. එකල්හි ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ ‘සැබැවක් මැ උවසු කියා යැ යි භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නා මැ වූ ප්‍රසේනජිත් කෝශලරාජ තෙමේ භාග්‍යවතුන්හට මෙය කී යැ: ස්වාමීනි, යමෙක් අපගේ ඇතොවුරට ධර්‍මය උගන්වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු එක් මහණක්හු අණවන සේක් නම් මැනැවැ’යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ප්‍රසේනජිත් කෝශල රාජයා දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූසේකැ ... පැදකුණු කොට ඉවත් වැ ගියේ යි.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේකැ. එසේ නම් ආනන්‍දයෙනි, රජහුගේ ඇතොවුරට බණ උගන්වවයි. එසේ යැ වහන්සැ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන්හට පිළිවදන් දී කලින් කල පිවිස රජහුගේ ඇතොවුරට බණ උගන්වති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙනැ ප්‍රසේනජිත් කෝශල රාජයාගේ මැදුරට එළැඹියහ. එසමයෙහි වනාහි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමග ශයනගත වූයේ වෙයි. මල්ලිකා දේවී ආයුෂ්මත් අනඳ තෙරුන් දුරින් ම එනුවන් දැකැ යුහු වැ නැගී සිටියා යැ. ඇයගේ රන්වන් සළුව ගිලිහිණ, එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ එයින් මැ නැවැතී ආරාමයට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වූහ.
6. යම් මහණ කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් පෙරැ නො දන්වාලු ආයුෂ්මත් අනඳ තෙරණුවෝ රජහුගේ ඇතොවුරට පිවිසියාහු”දැ යි ... සැබෑ ද ආනන්‍දයෙනි, තෙපි පෙරැ නො දන්වන ලද්දහු රජහුගේ ඇතොවුරට පිවිසියහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ .. කෙසේ නම් ආනන්‍දයෙනි, තෙපි පෙරැ නො දන්වන ලද්දාහු රජහුගේ ඇතොවුරට පිවිසියහු ද? ආනන්‍දයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහු.