6. 7. 7.
සංවිධාන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි සිටැ සැවැතට යන්නේ එක්තරා ගම්දොරක් ඉක්මවයි. එක්තරා ස්ත්‍රියක් තොමෝ සැමියා සමග ඩබර කොට ගමින් නික්මැ එමහණ දැකැ මෙය කිවු යැ. “ස්වාමීනි, ආර්‍ය්‍යයෝ කොහි වඩිත්” දැ යි, බුහුන මම වනාහි සැවැතට යන්නෙමි” යි. “මම ද ආර්‍ය්‍යයන් සමඟ යන්නෙමැ” යි. “එන්නැ බුහුනැ” යි. එකල්හි ඒ ස්ත්‍රියගේ සැමියා ගමින් නික්මැ මිනිසුන් පිළිවිසී යැ. සගයෙනි, මෙබඳු ස්ත්‍රියක දක්නහු දැයි. ආර්‍ය්‍යය, තෙල මාගම පැවිද්දකු සමඟ යේ යැ යි. එකල්හි ඒ පුරුෂ තෙමේ ලුහුබැඳ එමහණ ගෙනැ අකොළා මුදාලී යැ. ඉක්බිති ඒ මහණ එක්තරා රුක්මුලෙකැ (තමාට මැ) අවමන් කරමින් හුන්නේ යැ. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ ඒ පුරුෂයාට මෙය කිවු යැ. “ආර්‍ය්‍ය වූ මේ භික්‍ෂු තෙමේ මා ගෙනැ නො ආයේ යැ, වැළිදු මම මැ ඒ මහණහු සමඟ යමි. ඒ මහණ අකාරක යැ. යා, එ මහණහු කමාකරව යි. එකල්හි ඒ පුරුෂ තෙමේ එමහණහු කමා කැරැවී.
2. ඉක්බිති ඒ මහණ සැවැතට ගොස් තෙල කරුණ මහණුන්හට දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් මාගමක සමඟ බැණ ගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්නේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි මාගමක සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්නහු දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි මාගමක සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්නහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මාගමක සමඟ බැණ ගෙනැ එක් වැ අදන්මගට – යටත් පිරිසෙයින් අන් ගමකට දු – පිළිපදනේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
මාතුගාම නම්: මිනිස් ඉතිරි යැ. යකින්නක් නො වෙයි. ප්‍රෙතියක් නො වෙයි. තිරිසන් ගිය මාගමක් නො වේ. සුබැසි දුබැසි දුළුල් නො දුළුල් තෙපුල් දැන ගන්නට පිළිවන් දැනුමැතියා යි.
සද්ධිං: එක් වැ.
සංවිධාය: යම්හ බුහුන, යම්හ ආර්‍ය්‍යය, යම්හ ආර්‍ය්‍යය, යම්හ බුහුන, අද හෝ හෙට හෝ අනිද්දා හෝ යම්හ යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අන්තමසෝ ගාමන්තරම්පි: කුකුළුගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. ගමක් නො වන අරන්හි නම් අඩ යොදුනෙහි අඩ යොදුනෙහි පචිති ඇවැත් වේ.
මාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ බැණ ගෙනැ එක් වැ අදන් මඟට යටත් පිරිසෙයින් අන්ගමකට දු – පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටතින් අන් ගමකට දු – පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි නො මාගම් සන් ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටතින් අන්ගමකට දු, පිළිපදනේ නම් පචිති ඇවැත් වේ.
මහණ සංවිධාන කෙරේ නම් මාගම සංවිධාන නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. යකින්නක හෝ ප්‍රේතියක හෝ පණ්ඩකයකු හෝ තිරිසන් ගිය මිනිස් සිරිරි දරන ඉතිරියක හෝ සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට – යටත්පිරිසෙයින් අන්ගමකට දු – පිළිපදනේ නම් නම් දුකුළා ඇවැත් වේ.
නො මාගම්හි මාගම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම්හි නො මාගම්සන් ඇති යේ නම් ඇවැත් නැති.
සංවිධාන නො කොට යේ නම්, මාගම සංවිධාන කෙරේ නම් මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසඞ්කෙතයෙන් යේ නම්, ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සත්වැනි සංවිධාන ශික්‍ෂාපද යි.