6. 7. 6.
ථෙය්‍යසත්‍ථ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා ගැල් සාත්තුවෙක් රජගහ නුවරින් පැසුළුදිගට යනු කැමැත්තේ වෙයි. එක්තරා මහණෙක් ඒ මිනිසුන්හට මෙය කී යැ. “මමද ඇවතුන් සමග යන්නෙමැ” යි. ස්වාමීනි, ඇපි වනාහි සුංවත් වළහා යන්නම්හ, ඇවැත්නි, දනුවයි. අයකැමියෝ වනාහි සාත්තුවෙන් සුංවත් වළහා යන්නේ යැ යි ඇසූහු. ඔවුහු මගෙහි නැඟී සිටියහ. ඉක්බිති ඒ කැමියෝ ඒ සාත්තුව ගෙනැ අසිඳ එමහණහට මෙය කීහු: “කුමකට ස්වාමීනි, නුඹ වහන්දැ දැනැදැනැ සොරසාත්තුවක් සමග යනදෑ දැ යි වද දී මුදාහළහ. ඉක්බිති ඒ මහණ සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්:
“කෙසේ නම් මහණෙක් දැනැ දැනැ සොරසාත්තුවක් සමග බැණ ගෙනැ එක් වැ අදන්මගට පිළිපන්නේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි දැනැ දැනැ සොරසාත්තුවක් සමග බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්හු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. කෙසේ නම් හිස් පුරුෂය, තෙපි දැනැ දැනැ සොරසාත්තුවක් සමග බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්හු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැනැ දැනැ සොරසාත්තුවක් සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට–යටත් පිරිසෙයින් අන් ගමකටදු පිළිපදනේ නම් පචිති වේ” ය යි.
2. යො පන; යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්, හෙතෙමේ හෝ ඇරොජයි. ථෙය්‍යසත්‍ථ නම්: කළසොරකම් ඇත්තා වූ හෝ නො කළ සොරකම් ඇත්තා වූ හෝ සොරු වෙති. සොරකමට රජහු වෙතැ හෝ යෙති. සුංවත් හෝ වළහා යෙත්. සද්ධිං: එක් වැ. සංවිධාය: යමු ඇවැත්නි, යම්හ ස්වාමීනි, යම්හ ස්වාමීනි, යම්හ ඇවැත්නි, අද හෝ හෙට හෝ අනිද්දා හෝ යම්හ යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ. අන්තමසෝ ගාමන්තරම්පි: කුකුළුගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. ගමක් නො වන ආරණ්‍යයෙහි නම් අඩයොදුනෙහි අඩයොදුනෙහි පචිති ඇවැත් වේ.
සොරසාත්තුවෙහි සොරසාත්තුසන් ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටත්පිරිසෙයින් අන් ගමකටදු පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. සොරසාත්තුවෙහි විමති ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටත් පිරිසෙයින් අන්ගමකටදු පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. සොරසාත්තුවෙහි නො සොරසාත්තුසන් ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටත් පිරිසෙයින් අන්ගමකටදු පිළිපදනේ නම් ඇවැත් නැති.
මහණ සංවිධාන කෙරේ නම් මිනිස්සු සංවිධාන නො කෙරෙත් නම් දුකුළා ඇවැත් වෙයි. නො සොරසාත්තුයෙහි සොරසාත්තුයෙක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සොරසාත්තුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සොරසාත්තුයෙහි නො සොරසාත්තුයෙක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
සංවිධාන නො කොට යේ නම්, මිනිස්සු සංවිධාන කෙරෙත් නම් මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසඞ්කෙතයෙන් යේ නම් ඇවැත් නො වේ. ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සවැනි ථෙය්‍යසත්‍ථ ශික්‍ෂාපද යි.